Meet The Author

Friday, July 31, 2015

On 4:26 AM by Unknown   No comments
රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කර ඇති මෙම ගීතය තුළින් ලාංකේය නර්තන ශිල්පියා පවතින ආර්ථික රාමුව තුළ අසරණ භාවයට පත්ව තිබෙන බව  කියවෙයි. සංගීතය එච්. එම්. ජයවර්ධනයන් ගායනය ජානක වික්‍රමසිංහයන්.... නටන තාලය පැටලෙයි පෙනෙන කිරුල සැබෑ ලෙසම ඔහු සතු නොවේ. සැබවින්ම ඔහු මේ නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලීමක් පමණයි. කකුලේ ගිගිරි වැලපෙමින් පවසන්නේ මේ ප්‍රකාශනයයි. සාම්ප්‍රදායික නර්තන ශිල්පියා වයසට යත්ම ඔහු කුසලතාවයෙන් සහ ප්‍රතිභාවෙන් ඉහලින් ඉහලටම යයි. නමුත් කායික ශක්තියෙන් පිරිහෙයි. ඔහුට සවියක් වන්නට ආර්ථිකය ශක්තියක් සපයන්නේ නම් නැත. කරලියේ පෙනෙන වර්ණවත් බව සැබෑ ජිවිතයේ දකින්නට නොමැත. වන්නම සේම තානම සුමිහිරි නැත. මේ ගිරෙන් ගිරට පැන යාම නර්තනයේදී හැකි වුවද සැබෑ ජීවිතය එසේ ගත කිරීම පහසු වන්නක් නොවන බව ගී පද රචකයා මෙහිදී පවසයි. රගබිමෙන් බසිනවිට කලාකරුවා සතුව සන්තකයට පැවති නර්තන ආභරණ සියල්ලත් අවසානයේ සින්න වී ඇත. රංග භුමිය ඔහුගේ ජීවිකාව සරි කරන්නට තරම් සවිමත් නැත. යහළුව සැබෑ ලෙසම රිදී කාසි සොලවන්නට බෙරපදය ප්‍රමාණවත් නොවේ. කලාකරුවාගේ ඉරණම සහ ආර්ථිකය යන සාධකය හමුවේ ඔහු පෙළෙන වේදනාබර තත්වය මේ ගීතයෙන් මනාවට විද්‍යාමාන කරන්නට ගී පද රචකයා සමත්ව තිබේ. සංගීතය ඒ පදමාලාවට සහ කතාන්දරයට ගැලපෙන ලෙසම සකස්වී ඇත. ගායන අප හදවත් තුළට ගීතයේ අර්ථය ඇතුළු කරන්නේ ඉතාම මෘදු ලෙසිනි.


Thursday, July 9, 2015

On 7:36 AM by Unknown   1 comment
මේ වචන ප්‍රේමකීර්ති ද අල්විස් නම් කෘතහස්ත මාධ්‍යවේදියාගේයි. හඩ ආදරණිය වූ මධුර 'ස' ස්වරය.. පෙම්වතෙක් සහ පෙම්වතියෙකු ගේ සමුගනිමකින් අනතුරුව ඔවුන් පිළිබදව මැවෙන මතකය දෙදෙනාටම අනන්‍ය වේ. එය සැගවිය නොහැක. කුමන හේතුවක් මත හෝ හමුවුනත් දන් ඔවුන් වෙන්වනු දෙදෙනෙක්. කෙසේ නමුත් පැරණි මතයක මිහිරියි. වෙන්වීමේ හේතු කෙතරම් කුරිරු වූ නමුත් ආදරණිය මතකයන් සදා මිහිර ඉතුරු කරවාලයි. දින සති ගෙවී යත්ම දෙදෙනාගේම ජීවිත විවිධ දිශානතීන් වලට ගලාගෙන යයි. පසුව හැරී බලන කළ දන ඔවුන් සදහා අයිතිකරුවන් සිටියි. එවැනි අවස්ථාවකදී වුවත් පැරණි ආදරයට හිත තුල ජිවත් වීමට බාධාවක් නැත. මේ එවැනි මොහොතක සිදුවන ප්‍රාර්ථනයක් ලෙස පෙන්වාදීමට කැමැත්තෙමි. අපි හැගුම් වලට මේ අවස්ථාවේ දී මොහොතකට ඉඩ දෙමු. අප දෙදෙනා අතර පරතරය වියතක් තරම් දුර තබාගමු. ස්පර්ශ වන ලෙස ලංවන්නේ වත් වඩාත් ඈතින් සිටින්නේත් නැත. පැරණි මතකයන් ආයෙත් සිහිපත් කරමින් හදපානේ මද අදුර මැදින් නැවතත් මතක අතරේ ඇවිදගෙන යමුද? ....
ඔබේ වර්තමාන හිමිකරුගෙන් සහ මගේ වර්තමාන හිමිකරියගෙන් මිදී සෙමින් රහසේ ඇවිත් හමුවී හදපානේ මද දුරක් ඇවිදගෙන යමු. සිතතුළ සිරකර තිබෙන සෙනෙහස හැඩුමකින් පිටකරමු. නමුත් අපි ප්‍රර්ථනා සහිතව සිනාසෙමු මතු ආත්මයේදී නියත ලෙසම හමුවෙන ප්‍රාර්ථනාව ඇතිව. මේ සියල්ල සිදුවන්නේ එක් දිනක රාත්‍රියේයි. ගීය අවසානයේ පවසන්නේ යමු වෙන්වී හිමිදිරියේ යනුවෙනි. ..... මේ පදමාලාව ඇසෙන ඕනෑම අයෙකු ගීතය අවසානයේ මේ අත්දැකීම තමන්ගේ කොට තනිවම විද අවසන්ය සැබවින්ම..... 

අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌.....
හදපානේ මද අදුරේ.....
අත් පටලා යමු ආයේ......
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
අවුදින් සෙමින් රහසින් මුමුණා...
හදපානේ මද අදුරේ.....
සිරකර හසරැල්ලෙන් හැඩුම්....
අපි හිනහෙමු සපුරා පැතුම්.....
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ.....


Tuesday, July 7, 2015

On 10:07 PM by Unknown   No comments

තරගයකදී තරගයෙන් බැහැරව තරගය ජීවිතය කරගන්න ඔබට
අන් අය හා තරගයක් තැබීමට අවැසි නොවනු ඇත
අතරමග ජයක් නොපෙනුනත්
තරගය අවසානයේ ජයග්‍රහණය
ඔබට හිමිවනු ඇත
නිව වැඩ කරන්න
ඉන් නැගෙන
ප්‍රතිරාවයට 

හඩනගන්නට ඉඩදෙන්න .......


Monday, July 6, 2015

On 7:29 AM by Unknown   No comments
මේ පදමාලාව ස්ටැන්ලි පීරිස් නම් පදරචකයාගේයි. මියුරු හඩ හදවතර ආදරය එකතු කරන කිර්ති පැස්කුවෙල් ගායන ශිල්පියාගේ. මෙවැනි අත්දැකීමක් ඇතැම් විට කෙනෙකුට තියෙන්නට පුළුවන්. මේ අමුතුම අත්දැකීමක් සංකල්පනාවක්. නමුත් බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැතිවා නොවෙන්නට පුළුවන්. ඊට හේතුව අප ළග ඇති වස්තුවට වඩා අපට අහිමි වූ එසේ නැත්නම් අප ළග නොමැති වස්තුවේ අගය දැනීමයි. එය සාමාන්‍යයි අප එය වටහාගත යුතුයි. මෙහි පදමාලාව එවැන්නක් ගැනයි. මේ ආදරවන්තයෙකුගේ ආපසු හැරී බැලීමක්.....

ඔහුට සිය පැරණි පෙම්වතිය සිහිවෙනවා. ඇය තවමත් රන්තරු පායන අහස දිහා බලාගෙන සිනාසෙනවා. ඔහු ඇගෙන් අහනවා ඇයි ඔබ තවමත් හිනැහෙන්නේ යනුවෙන්. මේ වන විට ඔහුගේ ආදරය වෙනෙකෙකු සතුවෙලා. දැන් අගේ පරණ පෙම්වතියට පෙම්වතෙකු සිටියි. ඔහුගේ හදවත දිනු ආදරය දැන් සොරාගෙන ඇත්තේ වෙන අයෙක්. මේ සම්බන්ධය නැවතිලා බොහෝ කලක් ගොසින්. සම්බන්ධය නවතින මොහොතේ ඔහුට ලොකු දුකක් ඇති නොවුන නමුත් ඔහුට දැන් පසුතැවීමක් දැනෙයි. ඒ මෙසේ වෙන්වීමක් සිදුවුනේ තමන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් යනුවෙන්. මිහිර සොයාගෙන ගිය ඔහුගේ ජීවිතය දැන් කදුලැලිත් සමගයි ජිවත් වන්නේ. ඔහු සිය පැරණි පෙම්වතියගෙන් නැවත නවත් සමාව ඉල්ලා සිටින්නේ ඇය අත වරදක් නොමැති බවත් තමා සතුව වරද පවතින බවත් සිතමින් පසුතැවෙමින්. මෙවැනි පෙම්වතුන් අප අතරත් ඕනෑ තරම් සිටින්නට පුළුවන නමුත් එය පිටතට පෙන්නේ නැත. මෙවැනි ගීයක් ශ්‍රවනයෙන් අපේ හදවත් අපේ ඇතුලාන්තය අපට එය ඉගි කරාවි.

රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ

ඔහුට දැන් ජිවිතයට මාර්ගයක් පෙන්වීමට කෙනෙකු නොමැති සේයා. ඔහුගේ මුළු ජිවයම පෙර පෙම්වතිය හා බැදී ඇත. වෙනත් මගක් යාමට හෝ වෙනත් මගක් ගැන ඔහුට සිතෙන්නේද නැත. කුඩා රුවල බැද තනිවම සයුර මද සිට කොහෙට යන්නයි සිතාගත නොහැකිව ඔහු පසුවෙයි.

කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ

ඔහුගේ හදවත් දැන් කැඩී බිදී ගොස් අවසන් එය නැවත කාට එකතු කිරීමට හැකිවේදැයි ඔහුට විශ්වාසයක් නොමැත.ඔහු අදටත් පවසන්නේ මෙතරම් දෙයක් වී නමුත් තවමත් මගේ අදවත තුළ සිටින්නේ ඔබ බවයි. මේ සෙනෙහස තාමත් ඔබ වෙනුවෙන් වෙන්වී ඇති බවයි. එය ඇයට කිසිදා නොඇසෙනු ඇත. එමෙන්ම නොවටහෙනුද ඇත. සැබෑ ආදරය ඇත්තේ මොහුගේ හදවතෙයි, ඔහුගේ පසුතවිමද ඒ ආදරයේ සත්‍යවාදී බව නැවත නැවතත් සාක්ෂි දරයි. ඔහු සමාව ඉල්ලිමම පසුතවිමම සෙනෙහස පැහැදිලි වීමකි. මුළු ජිවයම ඇය වී අවසන් බව ඔහුට දැන් වැටහී ඇත.

පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හදතුල හැම වේලේ



Sunday, July 5, 2015

On 8:00 AM by Unknown   No comments
ගුණදාස කපුගේ ශුරින් විරෝදාකල්ප ගීත සාහිත්‍යයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කළ සමාජවාදී මතදාරී ප්‍රගතිශීලි ගායකයෙකි. ඔහු ධනපති ආණ්ඩුව ගීතයෙන් විවේචනය කළ අයෙක්. ඔහුට ලැබුණු ස්ථාන මාරු ඔහුව මර්දනය කිරීම වෙනුවට තව තවත් ඔහුව දිරිගැන්වීමට හේතු විය, සැබවින්ම විරෝදාකල්ප  ගීත සාහිත්‍ය පොහොසත් කිරීමට හේතු වූ බවද කිව යුතුය. මේ ගීයේ රචකයා ගුණදාස කපුගේ ශුරින් මෙන්ම නිරන්තරව දේශපාලන පලිගැනීම් මත දුෂ්කර සේවයේ සිටි රත්න ශ්‍රී විජේසිංහයන්ය.

මගෙ බිසවනේ අසාපන්
නුබ මන්ත්‍රී දෙවි නොවුණි
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි 


ආණ්ඩුවේ පලිගැනීම් මත දුෂ්කර මාරුව අනිවාර්ය අංගයකි. ඔහුව දැන් දුෂ්කර පළාතකට මාරු කර ඇත. දැන් දුෂ්කර ක්‍රියාවක දීමට සිදුවේ. මෙවැනි අවස්තාවක බිරිද ඔහුට එතරම් දුරක යන්නට නොදෙයි. එසේ යනවානම් ඇයද එන්නට සැරසෙයි. මෙහිදී සිදුවන්නේද එවැනිම තත්වයකි. ඔහු සිය බිරිදට බිසව ලෙස ආමන්ත්‍රණය කරයි. නුබ මට බිසවක් වුවාට මා සමග දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නට නුබ මන්ත්‍රී දේවිය නොවෙයි. ඒ හේතුවෙන් ඔබව මෙහි දමා මට පමණක් එහි යන්නට ඉඩදෙන්න ඒ ඔහුගේ ඉල්ලීමයි. එකට එක්වී පාරමිතා පුරන අවස්තාවක් නොවෙයි මෙය. 

මේ කදුළු ඇයිද දෑසේ
බෑ  යන්ට නුබට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂඝෝර සර්ප භවනේ 


ඔහු පසුව පැහැදිලි කරයි. නුබට වෙස්සන්තර රජු සමග මන්ත්‍රී දේවිය හිමාලයේ ගියා මෙන් මා සමග යාමට මෙය සුදුසු අවස්ථාවක් හා කාලයක් නොවෙයි. කුලී නිවසක කල් ගෙවන්නට ඒ විෂඝෝර භවනේ නුබට හැකියාවක් නොමැත. සමාජීය වශයෙන් සිදුවන සිදුවීම් අනුව මෙසේ කුලී නිවස විෂඝෝර භවනක් ලෙස ඔහු හදුන්වා ඇත.

නුබ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොයා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුබ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ඒ බෙත් පෙරුම්දම් 


ඔහුගේ බිරිද චන්ද්‍ර මණ්ඩලය වගෙයි. රූමත් එමන්ම දරුවන් සිටින මවක්. මා සමග දුෂ්කර සේවයට යාමෙන් සිදුවන්නේ නුබත් දරුවනුත් හාමත් වීමයි. ඒ හෙයින් දරුවන් හාමත් නොකර නගරයේම නවතින ලෙස ඔහු අයට පවසයි. ඒ වකවානුව වන විට විවෘත ආර්ථිකයේ ආගමනයත් සමගින් රට රැකියාව සදහා ගෘහණියන්ට අවස්ථා විවර වී ඇත. නුබව රට රකියවෙත් නොයවා දරුවන් වහල් කමටත් නොදමා මා මේ දුක්විදින්නේ නුබලාව රැකබලා ගැනීමටයි. මෙසේ දුෂ්කර යන්නේ  බෝසත් පාරමිතා ධර්මයන් පිරීමට නොවෙයි යනුවෙන් ඔහු අවසන් වශයෙන් පවසයි. 

පැවති සහ පවතින සාමාජ ක්‍රමයේ යතාර්ථය මෙයයි. දේශපාලන පලිගැනීම් මත මෙවැනි සිදුවීම් සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස අප දකියි. නමුත් එවැනි අවස්ථාවකට මුහුණ දුන් පුද්ගලයෙකු පුද්ගලිකව මුහුණදෙන සමාජීය කාරණාවන් මෙම ගීතයෙන් මැනවින් විග්‍රහ කර තිබේ. මෙම ගීය මනා ලෙස වෙස්සන්තර ජාතකයේ දුෂ්කර ගමන හා වර්තමාන සිදුවීම් සසදමින් ඉදිරිපත් කිරීමට රචකයා සමත් වී තිබේ. හැමදෙනාගේම කතා බහට ලක්වන නමුත් වැඩි ගැබුරු අවධානයකට ලක් නොවන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. රැකියා මාරු කිරීම් අසා ඇති නමුත් ඔවුන් පුද්ගලිකව මුහුණදෙන දුෂ්කරාතා පිළිබදව වැඩි අවධානයක් යොමුවන්නෙම නැත. 




Saturday, July 4, 2015

On 9:40 PM by Unknown   No comments

මේ ගීය සිය සත්‍ය අත්දැකීමක් පදනම් කරගනිමින් ලුෂන් බුලත්සිංහලයන් විසින් රචනා කරන ලද හදවත් තදින් බැදගත් ගීයක්. රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන ලද ගීත නිතර අසන්නට ලැබුනද ඔහු ගායනා කරන ගීත නිතර අසන්නට නොලැබෙයි. මේ ඔහු ගායනා කරන ගීයක්. ගීතයේ වචන අතර ගීය ශ්‍රවනය කරන ඕනෑම කෙනෙකුගේ හදවත් අතරමන් වීම අමුතුවෙන් කිව යුතු නැත. මේ අත්දැකීම ඕනෑම කෙනෙකුට සමීප නැති වුවත් ඒ සංවේදී අවස්තාව තමන්ගේ කරගැනීමට ශ්‍රාවක ඔබ මා මෙන්ම ප්‍රිය බව දනිමි. 


කිසියම් සිදුවීමක් විදහා දැක්වීමක් මෙන් පෙනුනද මේ ගීය පිටිපස උතුම් ප්‍රේමවන්තයෙකුගේ චින්තර රටාවන් විද්‍යාමාන වේ. මහනුවරට නගරයට සිහින් පිනි වැස්ස නිතර ඇතිවන්නක්. වැස්ස තරමක් වැඩි වෙලාවක රියක් ඇතුළේ ගමන් කරන කාන්තාවක් දැකීමෙන් මේ පාරේ ගමන්කළ පුද්ගලයාගේ මතකය ඈත අතීතයක් වෙත ගෙනයයි. මේ රිය ඇතුළේ ගමන් කරන්නේ ඔහුගේ පැරණි පෙම්වතියයි. අගේ මුහුණ දුටු පමණින්ම පෙම්වතාගේ දෑස ඉගිලී යන්නේ අතීත මතකයන් වෙතයි.

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උද ඉගිලෙන විට වැහිලේනි
එබී බලා කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී

මෙවැනි වැසි වසින වේලාවන් වල අනන්තවත් ඇයත් සමග අතින් අල්ලාගෙන නුවර ඇවිදපු අයුරු ඔහුට සිහිපත් වෙයි. ආදර වදන්, අනාගතය සැලසුම් කල හැටි, එකිනෙකා වැළදගත් සැටි ඔහුට එක පෙලට සිහිවෙයි. අද එවැනිම වැසි වෙලාවක තැන් දෙකක ගමන් කරන්නේ පෙර එකට ගමන් කල දෙදෙනාම බව ඔහුට ඒ නිමේෂයෙන් සිහිවෙයි.

අදුරු ලලා සෙන්කඩ ගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගීය දෙදෙනා අද යනවා දෙමන්තලේ

ඇයට විරහ වේදනාවක් නොමැත. මතකයන් සිතේ ඇති නමුත් ඒවා පීඩා ගෙනදෙන්නේ නැත. හේතුව ඒවා යටපත් කිරීමට අගේ වර්තමාන පෙම්වතා සිටීමයි. ප්‍රේමයේ විරහව දැනෙනුයේ අතහැර ගීය ඇයට නොව අගතියට පත්වූ පුද්ගලයාටයි. පරිසරයේ තිබෙන වර්ෂාව සීතල දැනෙනුයේ පරාජිත පෙම්වතාට පමණි. නමුත් රිය ඇතුළේ ගමන් කරන ඇයට ඒ වේදනාව දැනෙන්නේ නැත. ඇයව රිය ඇතුළේ උණුසුමෙන් ආරක්ෂා වී තිබේ. මේ සියලු පීඩා මැද්දේ පෙම්වතාව තව තවත් පිඩාවට පත්කරමින් ඇය ගමන් කරමින් සිටින රථයේ රෝදයක් මඩ වලකට වැටීමෙන් ඔහුව නෑවී යයි. එයින් ඔහුට එදා මෙන්ම කේන්ති ගියේ නැත. හිතට මහත් වේදනාවක් දැනෙන්නට ඇත. නමුත් ඔහු එය පිටකලේ නැත. අනෙකාගේ සතුට පතන සත්‍ය ප්‍රේමවන්තයෙකු මෙන් මෙහිදීද ඔහු නිහඩව හිත හදාගන්නේ අපේ සබදකම් රියසක නොදන්නා බව සිතමිනි. වර්තමාන ප්‍රේමවන්තයා ඔහු හා ඈ කෙරෙහි වූ සබදකම දන්නේ නැත. එහි වරදක් දොසක් වර්තමාන ප්‍රේමවන්තයාට සිදුකල යුතුද නැත. ඔහු තම පෙම්වතියට දොසක් කියන්නේද නැත. මේ අව්‍යාජ ප්‍රේමයේ ස්වභාවයයි. බෝසත් හදවතකින් යුතු ප්‍රේමනීය හැගීම එසේමයි. සැබෑ ලෙසම ආදරය යනු මෙයයි. ඔහු සිය පෙර ආදරයට කිසිදා වෛර කරන්නේ නැත. ඔහු සතුවූ උතුම් හැගීම් කිසිදා වියැකී යන්නට ඉඩ හරින්නේ නැත.

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ

විරහවේ මිහිරියාව විදින ප්‍රේමවන්තයින් වන්නට හැකිනම් ආදරය ඉතා සුන්දර දෙයක් බවට පත්වනු ඇත. කෙසේ නමුත් මේ ගීය අවසානය ලුෂන් බුලත්සිංහලයන් ට කිව යුත්තක් ඇත. මේ සිදුවීමේ පරාජිතයා රියතුල සිටි කාන්තාවයි. හේතුව ඇයට නියම ආදයර දැක්වූ පුද්ගලයා ඇයට අහිමිවීමයි.





On 8:43 AM by Unknown   3 comments
මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස අවුරුදු 11 ක්. සත්‍ය සිදුවීමට අනුව ඇය මල් විකුණා ඇත්තේ දෙමටමල් විහාරයේයි. ගීතයේ රිද්මය ආරක්ෂා කරගැනීම සදහා වැව සහ පන්සලේ වෙනසක් සිදුකර තිබේ. 
මේ සිදුවීම පිළිබදව රත්න ශ්‍රී විජේසිංහයන් සිදුකල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

"1981 අවුරුද්දේ ඒ කාලේ තිබුණු ආණ්ඩුව මාව ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට, මාව වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන ඇති දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිලියක් වත් තිබුනේ නෑ ඒ පාසලට ආව 7 පන්තියේ දැරියක් බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ඇහුව අයි කියල දැනගන්න ලැබුනේ කනගාටු දායක ප්‍රවෘත්තියක් ඇය මැරිල කියලා. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයෙකුත් එක්ක යනවා අගේ මළගෙදර හොයාගෙන. ඒ මළගෙදර තිබුනේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරයේ පොඩි වැවක් තිබුණා ඒ වැවට කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවානම් ඒ ගෙදර අගේ දේහය තියන්නවත් ඉඩක් තිබුනේ නෑ. ගෙයින් එලියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුනෙත් පෙට්ටිය අරන් දීල තිබුනෙත් ගමේ ඇය සල්ලි එකතු කරලා. මට හොදට මතකයි ඇයට අන්දලා තිබුනේ පාඩු පාට වෙච්ච පාසල් ඇදපු සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අඩුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක් මගේ වයස ඒ වෙනකොට 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහනවා මොකද වුනේ කියලා තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න, මල් කඩලා විකුනනවා පන්සලට යන ඇයට, එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා ඒ වගේම ඉතුරු වුනොත් ගෙදර වියදමටත් දෙනවා. ඒ නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකන් ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.හොයාගන්න බැරි වුණා පහුවෙනිදා පාන්දර අගේ මිනිය
පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. අගේ අතේ ලිහී ගීය නෙලුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුනා."

පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා. අගේ දේහය තැබීමට වත් නිසි ස්ථානයක් නිවසේ නොතිබුණු බව සදහන් වේ. කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක්‌ එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි..

සුදු නෙළුම කෝ සොරබොර වැවේ 
මල් සුවද දුන් මහියංගනේ 
පුන්පොයදා පාළොස්වකේ 
මල් නෙලා විකුණු පන්සලේ 

වැවට කළුවර යා වුනා 
සංසාර දුක බෝ වුනා 
නෙලුම් මල් මිට ඉහිරුනා 
එහා ඉවුරට පා වුණා 

සිහින සිරිපොද වෑහුණා 
ඉවුරු දෙකොපුල් සේදුනා
සුදු නෙලුම් මල දෑස පියවි 
මෙහා ඉවුරට පා වුණා ..... 



Friday, July 3, 2015

On 7:57 AM by Unknown   No comments
ගමේ තරුණ යුවලක් පෙමින් වෙලෙනවා. සදකිදුරු නාඩගම ගමේ රගදක්වන විට එහි සදකිදුරා සද කිදුරිය චරිත රගපාන්නේ මොවුන් දෙදෙනායි. ඇය සතුවන ගායන හැකියාව හේතුවෙන් ඇයට හැකියාව ලැබෙනවා කොළඹට එන්නට, කොළඹ ආවට පස්සෙ සදකිදුරියට කොළඹ ලස්සනත් එක්ක සද කිදුරාව අමතක වෙනවා. සදකිදුරිය එනකන් වෙල්දෙනිවල ඕවිටි වල අගේ වෙන්වීමෙන් ශෝකයෙන් පීඩිතව සිටි සද කිදුරා ශෝකය දරාගත නොහැකිව ලය පැලී  මියයනවා. මේ පුවතට කන කෙකිනියට හඩන්නට වත් කදුළු ඉතුරු වෙලා නෑ.

සදකිදුරාගේ අවසන් කටයුතුද කර අවසන්, එය සිදුකළේ පසුගිය පසළොස්වක පොහෝ දිනයේදීයි. සදකිදුරු නාඩගම නටන්නේද පසළොස්වක පොහොය දිනකයි. කමතට නැත්නම් පන්සලට වැටෙන සද එළිය එයට හොද ආලෝකයක් සපයනවා. කෙසේ නමුත් සද කිදුරාගේත් සද කිදුරියගේත් කතාව ඒ විදිහට කාටවත් නොදැනීම අවසන් වෙනවා.


Thursday, July 2, 2015

On 9:02 AM by Unknown   5 comments

ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන් මට සිහිපත් වන්නේ මහගම සේකරයන් රචනා කරන ලද පද්‍ය පන්තියක්. එහි කොටසක් මෙසේ සදහන් කරන්නම්. සිදාදියට එන්නට මට බුද්ධිය ඔබ තමයි එදා පාර කියා දුන්නේ, ගමෙන් උරුම වූ වස්තුව පොදියක් බැද කරතියාන උබේ බහට රැවටිලයි සිදාදියට අවේ, ඒ එනකොට ගෙන ආ දෙය වියපැහැදම් කළා මිසක මෙහිදී අලුතින් ඉපයූ කිසිම දෙයක් නැත්තේ, හිස බාරකළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ, සිදාදියෙන් ආපහු මගේ ගමට එන්න ආසයි මට එත් ගමට එන්නට දැන් පාර මතක නැත්තේ .... අම්මේ මට ගමට එන්න පාර කියාපාන්නේ ...... 


රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතාම ගැබුරු අරුතක් සහිතව මේ ගීය රචනා කර ඇත. මා සටහන් කරන අර්ථයට වඩා එහා ගීය අර්ථයකට නැවත නැවත ඒ ගීය ශ්‍රවනය කිරීමෙන් ඔබට ගමන් කල හැකිය.

දවසක් පැල නැති හේනේ
අකාල මහා වැහි වස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
සිටියා ඔබ අම්මේ ...

පැල නැති හේන යනු ආරක්ෂාවක් නැති කුටුම්භයයි. හේනට ආරක්ෂාව සලසන්න පැල සකසා තිබුන නමුදු මේ හේන ආරක්ෂා කිරීමට පැලක් නැත. මේ කතා නායකයාගේ පියා නොමැත. පියා නොමැති මේ පවුලට අකාලයේ වැටුණු වරුසාව හෙවත් නිතර පැමිණි කරදර වලින් ඔහුව අම්මා ආරක්ෂා කරගත්තේ අම්මා වැස්සට බිලි වෙමින්. සියලු කරදර අම්මා විදගනිමින් ඔහුව ආරක්ෂා කරගත්තා. අම්මා වැස්ස පායන තුරුම හිටිපියවරම සිටියා. ඔහු සවිමත් වන තුරුම අම්මා සියලු කරදර දුක්ක දෝමනස්සයන් විදගනිමින් ඔහුව ආරක්ෂා කරගත්තා.

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝද ඇලේ නැම්මේ .....
නුබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ....

ඔහු මුහුණදෙන දෙවෙනි වැස්ස මෙයයි. නුවරට යන තරුණයා එහි කාන්තාවක් සරණ පාවා ගනියි. නුවර ගතියට ඔහු හැඩගැසෙයි. ගම අමතක වෙයි. ඔහු නුවර සාමාජිකයෙකුද නොවේ දැන් ගමටද අමුත්තෙකි. ඔහුව ගමෙන් පිළිගන්නේ මහත්තයෙකු ලෙසිනි නගරය පිළිගන්නේ ගමේ බයියෙකු ලෙසිනි. මේ දෙකම අතර ඔහු අතරමං වී ඇත. පවුල් ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න හමුවේ ඔහුට මුහුණ දෙන්න වෙන නිනදා අපහාසයන් එමටයි.  නුවර වීදි යටකරගෙන යන්න තරම් නින්දාව නමැති විශාල වර්ෂාවක් ඇදහැලෙන වෙලාවේ ඔහුට සිටින බිරිදගේ සෙනෙහසද  නැතිව යයි එය සිදුවන්නේ යෝද ඇලේ ජලය බස්නා ආකාරයෙනි. එනම් යෝද ඇල නිර්මාණය කර ඇත්තේ සැතපුමකට අගලක බැස්මක් ඇතිවෙන ආකාරයෙනි. ඒ හේතුවෙන් යෝද ඇලේ ජලය ගලාගෙන යන අයුරු මතුපිටින් පැහැදිලිව නොපෙනෙයි. නමුත් ජලය නිසලව පෙනුනදා හෙමින් ගලාගෙන යයි. බිරිදගේ සෙනෙහස දිනෙන් දින අඩුවුණේ එසේමයි. නොදැනීම ඒ සෙනෙහස අඩුවිය. නමුත් එය දැනෙන වෙලාවක් එයි ඒ අවස්ථාවේ ඔහුට තිවන පීඩනය යෝද ඇලේ නම්මට සමානකර රචකයා පෙන්වා දෙයි. යෝද ඇලේ ජල බැස්ම ඒ ආකාරයෙන් වීම හේතුවෙන් යෝද ඇලේ ජල තලය ඝනත්වයෙන් වැඩි වේ. හෙමින් ගලා බසින හේතුවෙන් විශාල ජල ප්‍රමාණයකින් පීඩනයක් එල්ල කරයි. යෝද ඇලේ නම්මට ඒ පීඩනය ඉතා දැඩිව දැනෙයි. මේ දෙකම එකට සංකලනය කරමින් බිරිදගේ සෙනෙහස අහිමිවීමත් ඒ වියෝවත් ඔහු පෙන්වා දෙයි. ඒ වෙලාවේ අම්මේ නුබේ සෙනෙහස මට සුවද දිදී දැනුනු බව ඔහු කියයි. අම්මා ඔහුව කුඩා කාලයේ සෙනෙහසින් බලාගත්ත ආකාරය ඒ වියෝවේදී ඔහුට මතක වුනේ ඒ මවගේ සෙනෙහස වඩ වඩාත් දනෙමිනි.

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුලග හඩලන කොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මන් එනතුරු ඉදිකඩ ලග
ඉන්නවාද අම්මේ ....

ඔහු තවත් වැස්සකට තෙමෙන්නට ආසන්නයි. නගරයේ සිටින මේ පුද්ගලයාට එහි ඇති තරගකාරිත්වය සහ එහි ඇති බාධක වලට මුහුණ දීමට සිදුවෙයි. දැන් ඔහු තනිවී ඇත. ඔටුන්න යනු දැන් ඔහු සතුවන ධනය සහ බලයි. මේ සියල්ල ඉවතලා අම්මේ ඔබ වෙත මන් පමිනේන්නද යනුවෙන් ඔහු මවගෙන් අසයි. ඔහු පැමිණෙන බව පවසන්නේ එක පිම්මටයි. එතරම්ම ගමට යාමේ අවශ්‍යතාවය මවගේ සෙනෙහසේ ලැගුම් ගැනීමේ අවශ්‍යතාව ඔහු සතුවෙයි. මන් එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ යනුවෙන් ඔහු අවසන් වශයෙන් මවගෙන් ඉල්ලා සිටියි. ඒ පුතෙකුගේ අවසන් පැතුමයි. මවක් ඒ ආයාචනය සිදුකලත් නැතත් පුතු වෙනුවෙන් සැමදාම ඉදිකඩ ලග බලා සිටියි. නමුත් මේ  ගීය රචනා වන විට මා දන්නා පරිදි පදරචකයාගේ මව මියගොසිනි. ඉදිකඩ ලග ඔහු එනතුරු අම්මාර රැදී සිටීමට හැකියාවක් නොමැත. මව සිහිවන විට ඇය මියගොස් අවසන්ය.


Wednesday, July 1, 2015

On 9:00 AM by Unknown   3 comments

පෙම්වතුන් පෙම්වතියන් වෙන්වීම සාමාන්‍ය දෙයකි. එක් අයෙකුගේ ආත්මාර්ථකාමිත්වය එසේ වීමට හේතු විය හැකිය. එසේත් නැත්නම් නොගැලපීම දෙදෙනකු වෙන් කරවනු ඇත. ආදරය වෙනුවෙන් වෙන්වීම ඉතාම පුජනිය වේ. එසේ සිදුවූ අවස්ථා අල්පය. ආදරයේ නියම අරුත එක්වීම පමණක්ම නොවිය හැක. වෙන්ව සිටීමද ආදරය විය හැකිය. මේ ගීය වෙනස්ම තැනකට අපව රැගෙන යනු ඇත.


රුවල් ඉරී ගීය නෞකාවේ
නියමුවානෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය
ගොඩබිමකට

මේ ගීය වසර සිය ගණනක් ඈත ඉතිහාසයකට අපව ගෙනයනු ඇත. සොලී ආක්‍රමණ හේතුවෙන් වළගම්බා රජතුමන්ට රාජ්‍ය අතහැර පලායන්නට සිදුවිය. රජු පලායන විට රථයේ සිටි පිරිස හේතුවෙන් රථයේ ගමනට බාධා එල්ලවිය. මේ අවස්ථවේ සෝමා දේවිය සිතන සිතුවිල්ලක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. නෞකාවේ රුවල් ඉරි ගීය පසුව ගමන ඉතා දුෂ්කරය. දළ රළ පෙළ හමුවේ නොගිලී යාමට මා බාධාවකි. ඔබට මා හා යාමට නොහැකිය.

දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතුවේ අද දින
දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

ඇයව රැකබලා ගත් ආකාරය මෙහි කියවේ. මුහුදේ කරදිය හේතුවෙන් පානයට සුදුසු ජලය නොමැත. වැසි දිය අයට ලබාදෙන ලද්දේ දෝතට එකතු කරමිනි. ඇයට උණුසුම සාදා දෙන ලද්දේ ඉරුණු රුවල් රෙදි දවටමිනි. එසේ මා රැකබලා ගත් ඔබව අද මා රැකගත යුතුව ඇත. ඇය තීරණයක්‌ ගත්තේ දියබේ නැවතීමටය. ආදරයේ ඇති නියමැ පරිත්‍යාගය නම් මෙයයි.

රථයෙන් බැස සොළින්ට සෝමා අසුවිය.

සුන්බුන් නැව දැන් දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය ගබුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට

සෝමා දේවිය රථයෙන් බැසීමට තීරණය කළද ඒ සදහා වළගම්බා රජුට අවසර දීමට කෙතරම් අසීරු වන්නට ඇත්ද ? ඇයව දියබට බිලිදෙන ලෙස පවසන්නේ දෑස වසාගෙනය. සිදුකිරීමට අසීරු දෙයකි. වළගම්බා රජු වසර 12 ක් සගවා සිට සේනා සංවිධානය කර සොලින් පලවා හැර සිරිලක නැවත එක් සේසත් කළේය. සෝමා දේවිය රථයෙන් බසින ලද ස්ථානයේ සෝමාවතී වෙහෙර ඉදිකරන ලදී. මේ ගීය පුරාවට දැනෙන ඒ අසීමිත ආදරය වචන වලට පෙරලිය නොහැක. ගීතය පසුපසින් ඇදෙන මේ අර්ථය දැන් ගියාට තවත් ජිවය එක්කරනු ඇත.

Tuesday, June 30, 2015

On 10:12 PM by Unknown   5 comments

ඒ ගිය ශ්‍රවණය වෙත්ම සිහිපත්වන්නේ පළමු සංදේශ කාව්‍ය වශයෙන් හදුවනු ලබන මේඝ දුතයයි. මේඝ දුත කාව්‍යයේ දුතයා වන්නේ වලාකුලකි. සිරකුටියක සිරවී සිටින යකු සිය බිරිද නොමැති සොවින් ඈ වෙත පණිවිඩයක් යවන ලෙස පවසන්නේ වලාකුලකටය. මේ ගීය ද එසේමය. පෙම්වතා සිය කතාබහ සිදුකරන්නේ වලාකුලක් සමගයි.

පෙම්වතා සිය පෙවතිය හමුවීමට පැමිණ ඇත. වර්ශාවක ලකුන්නු අහසේ දිස්වෙයි. වැසි වැස්සොත් හමුවීමට බාධා ඇතිවනු ඇත. එබැවින් පෙම්වතා වලාකුලෙන් ආයාචනයක් කරනු ඇත. මේ ආයාචනයේ දුතයා වන්නේ සුළගයි. වළාකුලට ප්‍රකාශ කර සිටින්නේ ඉක්මනින් ගොස් ළග එන වැහි වලාවට පවසන ලෙසයි.

හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කළකින් ඈ මුණ ගැසේවි අසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු ලොවම අදුරු වේ සැනින්,

දිගු කලකට පසුව පෙම්වතිය හමුවීම අවස්තාව වැසි වැස්සොත් නැතිවනු ඇත. එසේ වැසි වැස්සොත් සිදුවන්නේ කුමක්ද ?

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඉගිලයනු කෙසේ
තැන නිල්ලේ ගොහොරු සැදෙයි
කතා නැතුව අනන්තයට ඉගිල යමි කෙසේ ....

වැසි වැස්සොත් ඇතිවන්නේ මෙවැනි බාධාවකි. ඒ හේතුවෙන් වැසි වැසීම නවත්වන ලෙස හො ප්‍රමාද කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. ඔහු වළාකුල දුකට පත්කරන්නේද නැත. වැසි ලබාදීමට තිබෙන අවස්ථාව නැති කරන්නේ නැත. ඔහු යෝජනාවක් සිදුකරයි. වලාකුලට අවශ්‍ය සතුට විද ගැනීමටද අවස්තාව ලබාදේ.

අප සමුගත් වැසි වසින්න
ගන් හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හොරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වලා බදේ
කඩ ඉමෙන් එහා

වැසි නවත්වන්නට එපා. වැසි වසින්න නමුත් අපි සමුගත් පසුව. ඒ පොඩි වර්ශාවකුත් නෙමෙයි. ඔබට රිසි සේ ගංගා වැව් පිරී ඉතිරි යන තුරුම .... නමුත් වලාවට පවසන්නේ හොරා දෙක තුනක් කඩඉමෙන් එහා රැදී සිටින ලෙසයි..... ඔහු පවතින බාධකය ප්‍රතික්ෂේප කරන්නේ නැත. අවස්ථාවට බාධාවක් නොවන ලෙස පමා කිරිමකට ආයාචනය කර සිටියි.



On 8:03 AM by Unknown   1 comment

චන්න කින්නරාවිය හෙවත් සදකිදුරිය යන නම ඇසීමත් සමග අපට සිහිවන්නේ සදකිදුරු ජාතකයේ බෝධිසත්වයන් සමග සමීපව සිටි යශෝදරාවියයි. බෞද්ධ සාහිත්‍යයට අනුව බෝධිසත්වයන්ගේ බිරිද වන්නේ  ආත්ම ගණනාවක සිට පාරමිතා පුරමින් උන්වහන්සේ සමග එකටම පැමිණි කාන්තාවයි. 

ආත්ම කල්ප ගණනාවක් පුරාවට පාරමිතාවන් පුරමින් පැමිණෙන බෝධිසත්වයෝ ඇස්, හිස්, මස්, ලේ. අඹුදරුවන් දන් දුන්නෝය. කරන ලද කුසල ධර්මවලට අනුව බොහෝ සැප සම්පත් විද ඇතිවා සේම දුක් විද ඇති අවස්ථාද එමටය. මේ සියල්ලට මුහුණ දීම සදහා උන්වහන්සේ සමග එකට සිටි සහකාරිය යශෝදරාවයි. චන්න කින්නරාවියගෙන් අසන්නේ ගිරි දුර්ග මැදින් ගමන් කරන්නට ඔබ මා හා යන්න එනවාද යන්නයි. ජීවිතය තුල තිබෙන දුක්ඛ දෝමනස්සයන් විදීමට සුදානම් දැයි චන්න කින්නරාවියගෙන් අසයි.

ස්වේත මිදුම් ඉරා
දෙනෙත් මග ඇහිරු 
ජිවිතේ සිත සෘතුවේ 
ගිරි දුර්ග අතරින් 
මා එක්ක එනවාද 
චන්න කින්නරාවී ....

ජිවිතයේ ඉතාම දුක්බර කාලය එනම් සුදුපාට මීදුමෙන් වැසී ගමන් කරන මාර්ගය පවා නොපෙනෙන තරම් හිමෙන් වැසුණු සීත සෘතුවක, ඉතාම අසීරු ගිරි දුර්ගයක ගමන් කරන්නට ඔබ එනවාද ? තමන් සමග ජීවිතය ගෙනයන්නට ඔබ මා සමග එනවාද? මගේ ජිවිතයේ ඉතාම කටුක අසීරු අවස්ථාවේදී මාත් සමගින් ගමන් කිරීමට ඔබ එකගද ?

රළු පොලව මතින් දිවෙනා 
විඩාබර දිගු ගමනේ 
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ 
ආදරේ ශේෂ වේවිද  
චන්න කින්නරාවි
මා එක්ක එනවාද 
චන්න කින්නරාවි 

ඉතාම විඩාබර ඉතා දිගු වූ මේ රළු පොලව මතින් ඇවිදගෙන යන විට ඔබේ සිනිදු දෙපා රිදෙන්නට පුළුවන්. එවැනි වේදනා බර අවස්තාවක, එවැනි වේදනා බර සුසුම් අතරේ ඔබ තුළ මා පිළිබද ඇති ආදරය ඉතුරුවේවිද?  චන්න කින්නරාවියගෙන් ඔහු අසයි.  එය සිහිකරමින් චන්න කින්නරාවියගෙන් ඔහු අසන්නේ ඔබ දැන් මා සමග යන්න එන්න කැමතිද යන්නයි ? 

සද නිවීගිය රාත්‍රියේ 
තාරුකා ගොළුව ගණ අදුරේ
ලය මතින් වැතිරී 
සොදුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුලුවන්ද
චන්න කින්නරාවි 
හිනැහෙන්න පුලුවන්ද 
චන්න කින්නරාවි 
හිනැහෙන්න පුලුවන්ද 
චන්න කින්නරාවි 

රාත්‍රියේ සද නිවී ගිය විට ඉතා ඝන අන්ධකාරයක් පැතිරයයි. තරුකැටද ගණ අදුරේ සැගවී ගොස් ඇති වෙලාවක ආලෝකයක් ගෙන ඒමට කිසිම සාධකයක් නොමැත. රාත්‍රියේ ඔබ වෙනුවෙන් කිසිම ආලෝකයක් නොමැත. එවැනි වෙලාවක ලයමතින් වැතිරී සොදුරු සිහිනයකට ඉඩදී ඒ තුළින් සිනාසෙන්නට ඔබට පුලුවන්ද ? චන්න කින්නරාවියගෙන් අසන්නේ එයයි. සියලුදේ  නොමැති වෙලාවක සිහිනයකට ඉඩදී මුහුණේ සිනාවක් රදවාගන්නට ඔබ සුදානම්ද ? යශෝදරාවගෙන් බලාපොරොත්තු වන්නේ එයයි. ජිවිතයේ දුක්බර සමයක කිසිවක් නොමැති වෙලාවක මුහුණේ සිනාවක් පෙන්වන්නට ඔබට හැකියිද මෙහි යටිපෙළ එයයි. තම පෙම්වතියගෙන් පෙම්වතා ඉල්ලා සිටින්නේ කුමක්දැයි ඔබට දැන් වැටහෙනු ඇත.
 
මේ ගීතය එක් අතකින් ජනප්‍රිය සංගීතයේ තවත් එක් උපතක් ලෙස පෙනුනද ඉතා ගැඹුරු දර්ශනයකින් යුතු බෝසත් පුවතත් ඒ හා මිශ්‍රකරගනිමින් කියවෙන්නක් ලෙසද පෙන්වා දිය හැකිය. කෙසේ නමුත් පෙම්වතෙකුට සැබවින්ම අවශ්‍ය වන්නේ මෙවැනි පෙම්වතියකි. ගීතය පුරාවට පෙම්වතා ජිවිතයේ යතා ස්වභාවය සිහිපත් කරමින් මා එක්ක එනවාද යනුවෙන් චන්න කින්නරාවියට ආරාධනා කරයි. ජිවිතයේ දුක විදීමට ඔහු හා යාමට එකග නම් චන්න කින්නරාවිය ඔහු හා යාමට එනු ඇත... 

Saturday, June 27, 2015

On 3:27 AM by Unknown   No comments
ඇත්ත සහ බොරුව අපේ විශ්වාසය අනුව තීරණය වෙනවා
කොයිතරම් අත්තක් වුනත් අපි එය විශ්වාස කරන්නේ නැත්නම්
ඒක හැමදාටම බොරුවක්
කොයිතරම් බොරුවක් වුනත්
අපි එය විශ්වාස කරන තුරාවට අත්තක්
ඇත්ත සහ බොරුව කළු සහ සුදු වගේ
කළු සහ සුදු අතරේ අන්තරය
හරියට අපේ ජීවිතය වගේ....
වැඩියෙන් සත්‍යවාදී වීමත් බොරුකාරයෙකු නොවීමත් කැටිවුණු
ඇත්ත සහ බොරුවේ මිශ්‍රණයක් වගේ ....

Thursday, June 25, 2015

On 8:39 AM by Unknown   1 comment
මේ දවස් වල ටීවී එකේ මන් දැකපු දෙයක් තමයි පාර්ලිමේන්තුවේ උසස්පෙළ අසමත් ප්‍රමානයත් සාමාන්‍යපෙළ අසමත් ප්‍රමාණයත් මහත් වූ ඕනෑකමින් විශ්ලේෂණාත්මකව පෙන්වන ආකාරය. මේ රටේ ජනමාධ්‍යයට ඉතාම ලොකු ඕනෑ කමක් තියෙනවා රටට වැඩදායක උගතුන් පාර්ලිමේන්තුවට යවන්න. ඒ වෙනුවෙන් ජනමතය හදන්නනේ මේ වගේ ප්‍රචාරයකට වටිනා ගුවන් කාලය වෙන් කරන්නේ. අපේ රටේ ජනමාධ්‍ය මොනතරම් නම් හොදද .....

දැන් මට මෙහෙම එකක් හිතෙනවා....

දැන් ලංකවේ ඉන්න උගත්තු ඔක්කොම හොදයිද ? අපිත් එක්ක එකට ඉගන ගත්ත හැමෝටම විශ්වවිද්‍යාලයේ එන්න බැරිවුණා. එතකොට උන් මෝඩයෝ අපි උගත්තුද? පුංචි කාලේ අධ්‍යාපනය අහිමිවෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. එක්කෝ ඇත්තටම කට්ටි පන්න, නැත්නම් අම්ම තාත්ත නැති හින්ද ඉගෙන ගන්න බැරි වුණා, එහෙමත් නැත්නම් ආර්ථික ප්‍රශ්න හින්ද පොඩි  කාලෙදිම රස්සාවක් කරන්න වුණා. ඒ කාලේ ජේ.වී.පි. කචල් හින්ද පාසල් යන්න බැරි වුණා. මේ මොකක් හරි වෙන්න ඇතිනේ... එතකොට දැන් ඇත්තටම නීති හදන තැනට සාමාන්‍යපෙළ වත් සමත් නැති කෙනෙක් ගියාම යන වැඩෙන් වැඩක් වෙනවද කියල ප්‍රශ්නයක් මට ඇතිවෙනවා.

හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවට යන උගත් මිනිස්සු ඒ මිනිස්සුන්ගේ උගත් කමෙන් කාටවත් හොයාගන්නවත් බැරි වෙන්න හොරකන් කරනවනම්. බඩවඩා ගන්නවා නම්, තීරණාත්මක අවස්ථා වලදී ධනය බලය වෙනුවෙන් පිල මාරු කරනවා නම්, රට පාවලා දෙනවා නම්, ඒ උගත් කමෙන් ඇති වැඩකුත් නෑනේ. මොන උගත උනත් ඉතින් අන්තිමට ඌත් මිනිහෙක්නේ කියන තැනට එනවනේ...

සාමාන්‍ය පෙළ අසමත් උසස් පෙළ අසමත් වුනත් ඒ මිනිහා රට වෙනුවෙන් ඉන්නවනම් ධනය බල වෙනුවෙන් නැමෙන්නේ නැත්නම්, සාධාරණත්වය වෙනුවෙන් කතා කරනවනම් ඒ මිනිහට අධ්‍යාපන සුදුසුකම් නැති උනාට ඉංග්‍රීසි බැරි වුණාට මටනම් ප්‍රශ්නයක් නෑ. දුක කියන්නේ එහෙම එවුන් ඉන්නවද කියන ඒකයි.

තවත් ප්‍රශ්නයක් දැන් මේ මිනිස්සුන්ව පත්කර ගෙන ඉන්නේ ඇමරිකාවෙන් හරි චීනෙන් හරිද ? නෑනේ අපිනේ ..... සමහර ඇමති වරු ඉගෙන ගෙන නෑ කිව්ව, ගස් බැන්ද කිව්ව, කුඩු ගේනවා කිව්ව, ගණිකා නිවාස පවත්වාගෙන යනවා කිව්ව කො ඉතින් මිනිස්සු වැඩිම  ඡන්දෙන් පත්කරගෙන පාර්ලිමේන්තුවට යැව්වානේ...

හරි මිනිස්සු මෝඩයි කියමුකෝ.... එතකොට ජනමාධ්‍ය... දැන් මේ ඉගෙනගෙන නෑ කියන හොරු කියන මිනිස්සු වෙනුවෙන් කොයි තරම් නම් ගුවන් කාලයක් වෙන් කරලා තියෙනවද? ඒ මිනිස්සුන්ගේ ප්‍රතිරුප වර්ධනය කරන්න කොයි තරම් නම් ප්‍රවෘත්ති දානවද... එහෙම නැත්නම් රටට වැඩක් නැති අපිට වැඩක් නැති කියපු මිනිහටත් වැඩක් නැති මොකක් හරි කියපු මෝඩ හිනායන කතාවක් හරි ප්‍රවෘත්ති වලට ගහනවනේ.. ඉතින් මේ මිනිස්සුන්ව එතනට යවල තියෙන්නෙම ජනමාධ්‍යනේ... ඔච්චර පරහිතකාමී නම් ඒ මිනිස්සුන්ගේ දැන්වීම් ඡන්ද කාලෙට නොදා ඉදහන්කෝ ... කෝ එහෙමත් නැනේ...

මේ හැම තැනම තියෙන්නේ බොරුව... සුභාවිත සංගීතය නැති කරලා ජනප්‍රිය සංගීතය ගෙනාපු නාලිකා අද සුභාවිත සංගීතය ඕනේ කියල කෑ ගහනවා. එහම මාධ්‍ය සංස්කෘතියක් තියෙන රටක් මේක. ජනමාධ්‍ය ඇතුලේ තියෙන්නේ වෙළදාම එතනින් එහාට මුකුත්ම නෑ. ඒක තමා ඇත්තම කතාව. සියල්ල තියෙන්නේ ලාභය මත පදනම් වෙලා. රටට ඕනේ දේ තීරණය කරන්නේ අපි කවුරුවත් නෙමෙයි ජනමාධ්‍ය. අද බබා වෙන්නෙත් ඒ අයම තමයි....

ඔන්න බලහන් කොච්චර කෑගැහුවත් වෙනද වගේම මේ පාරත් පාර්ලිමේන්තු මැතිවරණෙ තියෙයි. පරණ කට්ටියම එයි. හික්.....

Wednesday, June 24, 2015

On 8:20 AM by Unknown   No comments


මේ කතාව ඡායාරූප ජනමාධ්‍යවේදියෙක් සිය ජීවිතයේදී මුහුණදුන් විශේෂ අවස්තාවක් පිලිබදව කරන ලද පුනර් කථනයක් ඇසුරෙන් සකස් කරන ලදී .ඔහුට මේ ඡායාරූපයට Pulitzer සම්මානය ඇතුළු තවත් සම්මාන රැසක් හිමි විය. වියට්නාං යුද්ධය අවසන් කිරීම සදහා මේ ඡායාරුපය ඉතාම බලපාම්කාරි ඡායාරුපයක් විය. ලෝකයේ අවධානය යුද්ධයේ කුරිරු බව වෙත යොමුවීමට මේ ඡායාරූපය හේතුවක් විය.


1972 ජුනි 8 දින උදේ 7 ට පමණ සයිගොන් වලින් කාර් ඒකෙන් පිටත් වුනු ඔහු ට්‍රැන්ග් බැන්ග් (Trang Bang) වලින් පිටතට පැමිණියා. 7.30 ට පමණ යුද්දේ කාලේ අධිවේගී මාර්ග අංක 1 එහාට මෙහාට මාධ්‍යවේදීන් නිතරම ගියා. එදා එහි රථවාහන සංඥා ලාම්පු දල්වලා තිබුණේ නෑ. එය ඉතාම භයානක රියපදවිමක්. viet cong වරු හැමතැනම සැගව සිටිනවා. වියට් ගොන්ග්වරු සහ ඇමරිකානුවන් අතර පවතී යුද්ධයෙන් පසුව වෙඩි වැදුණු වියට්කොම් වරුන්ගේ මළසිරුරු පාර දෙපැත්තේ දමා ගොසින් තිබිණ. වියට්කොන්ග් වරුන්ට සහ ඔවුන්ට සහය දෙන්නනන්ට  අනතුරු ඇගවීමක් වශයෙන් එසේ සිදුකර තිබිණ. ඇතැම් වියට්කොන්ග් වරු වයස අවුරුදු 15 ටත් අඩුයි.

1971 ජුනි 8 වන දින ටැංග් බැන්ග් වල තත්වය ඉතාව උණුසුම් විය. යුද්ධය පැවති දෙවැනි දිනයයි. ඔහු එහි යන විට දහස් ගණන් සරණාගතයන් මාර්ගයේ පල්ලෙහාට ඇදෙමින් තිබිණ. ඔහු එවිට Associate Press (AP) හි ඡායාරුප ජනමාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කළේය. BBC, CNN, ABC  වැනි තවත් මාධ්‍ය ආයතන එතන සිටියහ.

උදෑසන ගම තුළ ඉතාම දරුණු බෝම්බ හෙලීම සහ සටන් පවතින. බොහෝ ජනමාධ්‍යවේදීන් එම ස්ථානය හැරගොසින් තිබිණ. Napalm  බෝම්බ විශේෂය දැමීමට පෙර එම ස්ථානයෙන් බැහැරව තිබුණා. දවල් 12.30 ට බෝම්බ හෙලීම සිදුවිය.
ඔහු හමාරා 4 ක් රැගෙන ගියේය.Nikon කැමරා 2 ක් සහ Leious  2 ක්, ඒ සමග 24mm, 35 mm, 105mm, 200mm, සහ 300mm කැමරා කාච ඔහු සතුවිය.අවුරුදු 40 කට පෙර සිදුවූ සිදුවීමක් හේතුවෙන් එවකට පැවති තාක්ෂණය හේතුවෙන් කැමරා කාච ගණනාවක් රැගෙන යාමට මාධ්‍යවේදීන්ට සිදුවිය. Tr -x  ෆිල්ම් රෝල් 150 ක් පමණ ඔහු රැගෙන ගොස් තිබිණ. Colour Negative  රෝල් කිහිපයක් සහ Slide ෆිල්ම් රෝල් යුගලයක් ඔහු සතුවිය.

පළමු nepalm ප්‍රහාරයේදී ඔහු සිතුවේ නැහැ ගමේ කිසිම සිවිල් වැසියෙක් ඉදියි කියල. napalam  බෝම්බ 4 ක් හෙලන ලදී. පෙර දින දෙක තුළ සරණාගතයින් දහස් ගණනක් ගම හැරගොස් තිබිණ. පසුව ඔහු දුටුවා ගිනි ජාලා සහ දුමාරය අතරින් ජනතාව පිටතට පැමිණෙන අයුරු.

ඔහු ඔහුගේ 300mm කාචය සහිත Nikon කැමරාව රැගෙන ඡායාරූප ගැනීමට පටන් ගත්තේය. ඔවුන් තව තවත් සමීප වන විට  Leica  කැමරාවට මාරු විය. පළමුව ඔහුගේ කැමරාව ඉදිරියට අවේ මියගිය දරුවෙක් වඩාගත් ආච්චි කෙනෙක්. පසුව ඔහු දැක්කා  Leica  කැමරාවේ view finder එක තුලින් නිරුවත් ගැහැණු ළමෙක් දුවන දර්ශනයක්. එවිට ඔහුට සිතුන සිතුවිල්ල මෙසේය. "Oh my god. what happend. The girl has no clothes" ඔහු වහාම ඡායාරූප ගැනීම ආරම්භ කරන ලදී. 35mm F2 කාචය සහිත M2 Lecia කැමරාවෙන්. (දැන් එම කැමරාව වොෂින්ටන් කෞතුකාගාරයේ ඇත. එම ඡායාරුපය වියට්නාම් යුද්ධය නිමා කිරීමට හේතු සාධක විය. එම දැරිය අදටත් ජිවතුන් අතර සිටියි.
(මෙම ඡායාරූපයට වසර 40 ක් පිරෙන මෙම වර්ෂයේදී ඔහු සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් පළ කරන ලද ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී)

Tuesday, June 23, 2015

On 8:02 AM by Unknown   No comments

කුඩා කල සිටම කතන්දර ඇසීමට ඇති ආසාව අදටත් අප අතර එසේම පවතියි. අවිඥාණික ආශාව අද තෘප්ත කරවාලනුයේ සිනමාවයි. නවකතාවක් කියවීම සිනමාවක් රසවිදීමේදී ලබනාව වඩා චිත්ත රූප මවාගත හැකි නිදහස් කතන්දර ඇසීමේ මාධ්‍යක් ලෙස දැක්විය හැකිය. නමුත් සිනමාවෙන් රූපය මවා පෙන්වීම හේතුවෙන් දෘශ්‍යමාන වන කතාන්දරය විදගැනීම පහසුය. නවකතා කියවීමට සියලු දෙනා රුචි නොවුනත් සිනමාව රසවිදීමට බොහෝ දෙනා රුචි වන්නේ එනිසා විය හැකිය.


කතන්දර ඇසීමේ කලාව තුළ සුරංගනා කතන්දර තුළ අපට ඇසුණු පොදු ධර්මතාවක් ඇත. එනම් කුමරෙකු සහ කුමරියක් සිටීම, ඔවුන් දෙදෙනා ආදරය කිරීම, ඔවුන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, සතුරෙකු සිටීම, සතුරා දුදනෙකු වීම, සතුරා අවසානයේ පරාජය වීම, කුමරා හා කුමරිය ආදරයෙන් එකතුවීම සහ ඔවුන් ජයග්‍රහණය කිරීම. 

ජනප්‍රිය සිනමාව තුලද මේ සන්දර්භයම දැකිය හැකිය. කතාන්දරය මොන අතකට ගලා ගියත්, කුමන ආකෘතියක පිහිටා සිටියත්, කතාන්දරය ආරම්භයේදීම අප කුමරා හා කුමරියත් සතුරා හෝ සතුරනුත් හදුනාගෙන හමාරය. චිත්‍රපටය ආරම්භයේ සිටම කුමරාගේ ජයග්‍රහණය ප්‍රේක්ෂක අප ප්‍රාර්ථනා කරන්නේ අව්‍යජවයි. එසේම අප චිත්‍රපටය පුරාවට කුමරාගේ ජයග්‍රහණය ප්‍රර්ථනා කරයි. මේ යට ඇත්තේ දුර්ජනයා පරාජය වී සත්‍ය වාදියාගේ  ජයග්‍රහණයයි.
 නමුත් ඩොන්  චිත්‍රපටයේ මුල සිට අග දක්වාම අප ආදරය කරන්නේ චිත්‍රපටයේ හැටියට සතුරාටයි. අවසානයේ ජයගන්නේද සතුරායි. මෙවැනි සතුරා ජයගන්නා චිත්‍රපට ගණනාවක් සිනමාවේ දක්නට ඇත. නමුත් ප්‍රේක්ෂක අප මේ චිත්‍රපටය ඉතාම ආදරෙන් වැළදගනියි. දුර්ජනයා වෙනුවෙන් අප පෙනී සිටියි. දුර්ජනයාගේ ජයග්‍රහණය අප ප්‍රර්ථනා කරයි. චිත්‍රපටය අවසානයේ අපට ලැබෙන අස්වැසිල්ල සැබෑ ඩොන් ජයග්‍රහණය කර සිටීමයි. ඔහු ආරක්ෂිතව වීමයි. සොරෙකුගේ ජයග්‍රහණය අප පතන්නේ ඇයි. නැත්නම් අනෙත් චිත්‍රපටයන්හිදී සොරාට එරෙහිව අපේ සිත් ක්‍රියා කරන්නේ ඇයි. මෙයට හේතුව ජනප්‍රිය සිනමාව හරහා චිත්‍රපටයට වඩා නළුවා භුමිකාගත වීමයි. ඩොන් චිත්‍රපටයේ ජයග්‍රහණය පතන්නේ ඩොන්  නමැති අපරාධ කරුවාට නොව අපේ සිත් තුළ අවිඥාණිකව  චිත්‍රපට ගණනාවක් හරහා වීරයා බවට පත්වූ ශාරුක් ඛාන් වෙනුවෙනි. ඇස් දෙකෙන් ඩොන් දකින නමුත් සිතින් ශාරුක් ඛාන් කියවන්නේ ස්වාදේශ්, ඕම් ශාන්ති ඕම්, මේ හුනා, කුච් කුච් හෝතා හේ, චෙන්නායි එක්ස්ප්‍රස් හරහාය.

Monday, June 22, 2015

On 9:18 AM by Unknown   No comments
වසර ගණනක් සැලසුම් කර
වසර ගණනක් ප්‍රර්ථනා කර
සියලු දේ ඔහු ඇය වෙනුවෙන් වෙනස් කර
සිතුම් පැතුම් ඔහු ඇය වෙනුවෙන් වෙන්කර
එකට එකතුවිමද
ආදරය.....
අහබු හමුවිමකින්
සැබෑ ජිවිතයේ රසය විදිමින්
සිනහවෙන් සැහැල්ලුවෙන්
එකතු වීමද
ආදරය.....



Sunday, June 21, 2015

On 10:08 PM by Unknown   No comments
මද සුළග හමා විත්
නුබෙ උවන සිබින විට
බලා ඉන්නට සිතයි
මුළු දිනක් ගෙවෙන තුරු
සිප ගන්න ආසමුත්
ඔබේ සුමුදු දෙතොල් පෙති
මද සුළග
මා සමග
තරහ වේදැයි සැකයි
ඔබෙ සුරත ගෙන හෙමින්
ඇවිද යන්නට සිතත්
ඔබෙ ලොවට ඇය වඩින
දිනය ගැන
ඔබ සිතයි.....
On 5:27 AM by Unknown   2 comments
ආදයේදී
පරිත්‍යාග කිරීම යනු සැබෑ ආදරයද
එසේනම්
සැබෑ ආදරය යනු
පරිත්‍යාග නොකොට
තමන්ගේ කර ගැනීමද
තමන්ගේ කරගන්නා විට
පරිත්‍යාග කිරීම
සැබෑ ආදරය යැයි සිතෙනු ඇත
පරිත්‍යාග කරන විට
සැබෑ ආදරවන්තයෙකු නම්
නැතිකරගන්නේ නැත
යනුවෙන් සිතෙනු ඇත
එබැවින්
සැබෑ ආදරය යනු කුමක්දැයි
සිතාගත නොහැක
සිදුකළ යුත්තේ ඔහේ බලා සිටීම පමණි
ඉතුරු වන දේ
සැබෑ ආදරය යැයි
සිත හදා ගැනීමට
යොදා ගත හැකිය

Friday, June 19, 2015

On 5:15 AM by Unknown   No comments
කාමරේ අස්කර ගන්න
කෙල්ලෙක් ඕනේ
මගේ කාමරේ හරිම අපිළිවෙලයි
කාමරේ අස් කරන්න මට වෙලාවකුත් නෑ
ඕන කමකුත් නෑ
ඒ හින්ද කාමරේ මොන දේවල් තිබුනත්
ඒකෙ ලස්සන පේන්නෙ නෑ
වැඩි දෙයක් කරන්න නෑ
අනවශ්‍ය දේවල් ඉවත් කරනන්යි
අවශ්‍ය දේවල් පිළිවෙලකට තිබ්බමයි
කාමරේ නිකම්ම ලස්සන වෙනව
කාමරේත් හරියට අපේ ජීවිතේ වගේ
මගේ කාමරේ
මගේ ජීවිතේ ....

Thursday, June 18, 2015

On 9:19 AM by Unknown   No comments
ඒක හරි පුදුම දෙයක්
ඇත්තටම සුන්දරයි
තිබුනම සුන්දරත්වය විදින්න පුළුවන්
නැති වුනාම විරහවේ සුන්දරත්වය විදින්න පුළුවන්
ජීවය එක් කරනවා වගේම
ජීවය නැති කරන්නත් පුළුවන්
නමුත් මේ හැමදේටම
හේතුව
අපේම හිත තමයි...
හැමදාමත් ආදරේ කරන අයට
තරගයක් නෑ
ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආදරේ
හැමදාමත් ඒ වගේම
නොවෙනස්ව දකින්න පුළුවන්

Wednesday, June 17, 2015

On 7:28 AM by Unknown   No comments
ඉන්දියාව විවිධ ජාති ආගම් දර්ශනවාදයන්ගෙන් පිරුණු රාජ්‍යයකි. ඒ ප්‍රමාණය මෙපමණකැයි ගණන් බැලීමට නොහැකි තරම් ඇති විශාල වේ. නමුත් මේ සියලු ජාති ආගම් එකට එක්ව ලෝකය ඉදිරියේ හින්දුස්ථානි නම් එක ධජයක් යටතේ එක් රාජ්‍යයක් ලෙස පෙනී සිටියි. ඉන්දු පකිස්තානු අර්බුදයේදී ඉන්දියාව එක් රාජ්‍යයක් ලෙස සිය රටේ ජනතාව පෙළගස්වාගෙන සිටියි. අන්තර්ජාතික වශයෙන් ඉන්දියාවට එල්ලවන බලපෑම් හිදී එයට සාර්ථකව මුහුණදීමට පෙළගැසෙන දේශපාලන අධිකාරයට විවිධත්වයෙන් යුතු ජනතාවක් එක් රාජ්‍යයක් ලෙස අවසන් වශයෙන් එකතුවී සිටීම සහයක් විය හැකිය. ලෝකයේ ඉහලට මතුවෙමින් සිටින රාජ්‍යයන් කිහිපය අතර නුදුරේදී ඉන්දියාව විශේෂ ස්ථානයක් ගනු ඇත.
ඉන්දියාව අති විශාල රාජ්‍යයකි ලෝක බැංකු වාර්තාවට අනුව එය භුමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 2,973,190.0 කි, භුමි ප්‍රමාණයෙන් පමණක් නොව ජනගහනයෙන්ද අති විශාල රාජ්‍යයකි. මේ වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.27 ක් ඉක්මවා තිබෙයි. විවිධ අදහස් මතවාද වලින් යුක්ත අතිවිශාල රාජ්‍යයක දේශපාලන පක්ෂ පිළිබදව විමසා බැලිය යුතුම වෙයි.
2014 පැවති ලෝක් සභා  මැතිවරණය අවසන් වන විට ඉන්දියවේ ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ ප්‍රමාණය 1627කි. මැතිවරණය සුදානම් වන අවදියේදී ඉන්දියාවේ අලුත් දේශපාලන පක්ෂ 34 ක් දින 16 ක්  ඇතුලත අලුතෙන් ලියාපදිංචි විය. ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ කිහිපයකි. එනම් භාරතීය ජනතා පක්ෂය, බහුජන සමාජ පක්ෂය, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, ඉන්දියානු කොමියුනිට්ස් පක්ෂය (මාක්ස්වාදී), ඉන්දියානු ජාතික කොන්ග්‍රසය සහ ජාතිකත්ව කොන්ග්‍රස් පක්ෂය වේ. ජාතික මට්ටමේ විශාල දේශපාලන බලයක් සහිත මෙම පක්ෂ වලට අමතරව ප්‍රාන්ත මට්ටමෙන් සහ ප්‍රදේශ මට්ටමෙන් තවත් පක්ෂ රාශියක් පිහිටා ඇත. විවිධ භූගෝලීය සීමාවන් තුළ ජිවත් වන විවිධ ජාති ආගම් කුල නියෝජනය කරමින් බිහිව ඇති මෙම දේශපාලන පක්ෂ අවසානයේ පොදු දේශපාලන ප්‍රවාහය වෙත විවිධ ආකාරයෙන් මැදිහත් වෙයි. මෙම කුඩා පක්ෂ ප්‍රධාන ධාරාවේ පක්ෂ හා සන්ධානගත වන අවස්ථා දැකිය හැකිය. මේ ආකාරයේ වූ පක්ෂ වල එකතුවකින් ඉන්දියාවේ පාලන බලය හිමිකර ගැනීමට ජාතික මට්ටමේ දේශපාලන පක්ෂය වලට හැකියාව ලැබෙයි.
මේ අනුව බලන විට පැහැදිලිව පෙනෙන තත්ත්වයක් නම් දේශපාලන පක්ෂයක් තුළ විවිධ මතවාදයන් සහිත ජනතාවක් සිටියි. එමෙන්ම අති විශාල දේශපාලන පක්ෂ ප්‍රමාණය තුළද විවිධ මතවාදයන් මත න්‍යාය පත්‍ර මත පිහිටා ක්‍රියා කරන දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් සිටිති.  ඒ අනුව ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරකම්, මත දැක්වීම්, විවේචනය කිරීම්, උද්ඝෝෂණය කිරීම් නොඅඩුව දැකිය හැකි තත්ත්වයක් විය යුතුය. සැබවින්ම ඉන්දියාව තුළ මෙම තත්ත්වය නොඅඩුව දැකගත හැකිය.
මතවාද විවේචන ඉවසීමට ආණ්ඩුවකට ශක්තිය තිබිය යුතුය. එමෙන්ම මතවාද විවේචන සදහා නිසි අවස්ථාවක්ද ලබාදී තිබිය යුතුය. එය යහපත් රාජ්‍ය ක්‍රමයක් වෙනුවෙන් හේතු වනු ඇත. මතවාද විවේචන හරහා ආණ්ඩු ක්‍රමයේ පවතින අයහපත් ලක්ෂණයන් පෙන්වාදීම් සිදුවන අතර පොදු ජනතාව ඒ පිළිබදව දැනුවත් වීමද සිදුවේ. ඒ අනුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සංසිදෙන අතර විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ගොඩ නැගෙනු ඇත. මත දැක්වීම් විවේචනය කිරීම් උද්ඝෝෂණය කිරීම් සදහා ඉඩ ලබාදිය යුතුමය. නමුත් මේ පවත්වන පෙළපාලි පොදු ජනතාවගේ සාමාන්‍ය දිවි පැවැත්මට බාධාකාරී නොවිය යුතුය. එසේම පොදු ජනතාවගේ කටයුතු වලට බාධා වන බව පවසමින් උද්ඝෝෂණ කරුවන් තලා පෙලා එලවා දැමීමද නොකළ යුතු වෙයි. මේ තත්වයන් දෙකම සමතුලිතව පවත්වා ගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සුවිශේෂී ස්ථානයක් පිහිටුවා ඇත.
ඉන්දියාවේ අග නගරය වන නවදිල්ලි නගරයේ එක්තරා ස්ථානයක් මේ සදහා වෙන්කර තිබේ. එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබෙනු දැකගත හැකිය. ඕනෑම දේශපාලන පක්ෂයකට බලපෑම් කණ්ඩායමකට මෙම ස්ථානයට පැමිණ තමන්ට රිසි සේ තම අදහස් මතවාද ඉදිරිපත් කල හැකිය. වෙන්කර තිබෙන භුමි ප්‍රමාණයෙන් එක් කොටසක වේදිකාවක් සකස් කරගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් දේශපාලාන රැස්වීම් පැවැත්විය හැකිය. පවතින දේශපාලන ක්‍රමවේදය හෝ රටේ වෙනත් තත්ත්වයක් පිළිබදව විවේචන ඉදිරිපත් කල හැකිය. තම මතවාදය ජනතාව අතරට ගෙනයා හැකිය. ජනමාධ්‍යයද ඒවා ආවරණය කිරීමට යුහුසුළුව ක්‍රියාකරනු දැකගත හැකිය.
මෙම ප්‍රදේශයට ඕනෑම කෙනෙකුට ඇතුළු විය හැකිය. දේශපාලන පක්ෂ තම ආධාරකරුවන් සමග මෙම ස්ථාන වලට පැමිණ ඔවුන්ගේ විවිධ වැඩසටහන් පවත්වයි. එම ස්ථානයට ගිය අවස්ථාවක දැකගත හැකි වුයේ එක් වේදිකාවකට නැගුනු මහජන නියෝජිතයෙකු ගී ගායනා කිරීමයි. ඔහු සමග ඔහුගේ සහයකයින්ද අත්වැල් ගී ගායනා කරනු ලබයි. ඉන්දියාව යනු සංගීතය සම්බන්ධව මහා සම්ප්‍රදායක් සහිත රාජ්‍යයකි. මහජන නියෝජිතයින් තුළ පවා මේ හැකියාවන් දැකගත හැකිවෙයි. මේ ගීත හරහා තම දර්ශනය ජනතාව අතරට ඔවුන් ගෙනයාමට උත්සහ කරයි. වෙනත් දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් විවේචනය කිරීමද සිදුවෙයි. මෙය ඉතාම නිර්මාණශීලි තත්ත්වයකි. මඩගොහොරුවක් වන දේශපාලනය තුළ නිර්මාණශීලි පරිසරයක් බිහිව තිබෙනු මේ භූමියේදී දැකගත හැකි විය. මෙම මහජන නියෝජිතයා ඇතැම් අවස්ථා වලදී එම ගීතය එම අවස්ථාවේදී අවශ්‍ය පරිදි වෙනස් කරමින්ද ගායනා කරයි. ඔහුගේ දේශයනට සවන්දීමට පැමිණි සියලු දෙනාට මේ ගීතයේ වචන සහිත පත්‍රිකාවක් ආධාරකරුවන් විසින් බෙදා දෙයි. අවසානයේ පැමිණි හැම දෙනාටම ස්තුති වන්ත වීමද ගීතයෙන්ම සිදුවිය. මෙම තත්ත්වය ලංකාවේ අපට තරමක් නුහුරු අත්දැකීමකි. නමුත් එහි දක්නට ලැබෙන නිර්මාණශීලිත්වය අගය කල යුතුය. අන්මත ඉවසීමට ඇති හැකියාව සහ අන් අයව විවේචනය කිරීමේදී යොදා ගන්නා විවිධ මාධ්‍යයන් මෙහිදී හදුනා ගත හැකිය.
ලංකාවේ දේශපාලන වේදිකා මතද ගී කියනු දැකගත හැකිය. ඒ පැරණි ගීයක නාද මාලාවට වෙනත් වචන දීමෙන් හෝ අර්ථ දැක්වීමෙනි. ඉන්දියානු මේ ඇතැම් ක්‍රම ලංකාවට ආදේශ කිරීම යෝග්‍ය නොවෙයි. ඒ රටවල් දෙකේ පවතින සංස්කෘතීන් සහ වෙනත් අගනාකම් වල පවතින විවිධත්වය හේතුවෙනි. කෙසේ නමුත් මේ නිදහස් ප්‍රදේශය ලංකාවේ අපට ආදර්ශයට ගත හැකිය. එකම භුමි ප්‍රදේශයක එක ලග දේශපාලන පක්ෂ දෙකක රැස්වීම් පැවැත්වේ. මේ කණ්ඩායම් දෙක අතර මතවාද හුවමාරු වීම් ද සිදුවන අවස්ථා ඇත. කණ්ඩායම් දෙක අතර සංවාද ඇතිවන අවස්ථා ඇත. මේ සියල්ල තුලින් අවසානයේ දැකිය හැකි තත්ත්වය නම් මහජනතාවට වගකියන මහජන නියෝජිතයන් බිහිවීමයි. මෙහිදී මහජන නියෝජිතයන්ව සෘජුව මහජනතාවගේ ප්‍රශ්න කිරීම වලට බදුන් වෙයි. ඉන් පැනයාමට මහජන නියෝජිතයාට හැකියාවක් නොමැත.
ලංකාවේ ඇතැම් අවස්ථාවන්හිදී විවිධ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් සදහා රැස්වීම් පැවැත්වීමේදී බාධා එල්ලවීම් සහ ශබ්ද විකාශන සදහා තහනම් කිරීමේ අවස්ථා බොහෝ ඇත. එසේම උද්ඝෝෂණ පාගමන් විසුරුවා හැරීමේදී විවිධ තාඩන පීඩන එල්ල කළ අවස්ථා ඉතිහාසයේ ඇත. මෙසේ විසිරුවා හැරීමට සිදුවන්නේ ඇතැම් විට මහජනතාවගේම ආරක්ෂාව සහ මාර්ග අවහිර කිරීම් වලක්වා ගැනීමට විය හැකිය. කෙසේ නමුත් ගැටළුවක් පැන නැගී පවතින අවස්ථාවකදී ඒ පිළිබදව අදහස් දැක්වීම සදහා ජනතාවට පාරට බැසීමට සිදුවී ඇත. එහෙත් ලංකාවෙත් මෙවැනි නිශ්චිත ස්ථානයක් ඒ වෙනුවෙන්ම වෙනකොට ඇත්නම් එය අලුත් අත්දැකීමක් වනු ඇත. එමෙන්ම එය ජනතාවට අවශ්‍ය පණිවුඩය ඉදිරිපත් කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ බිහිවුණු වේදිකාවක් වනු ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඉන්දියාව ගෙන ඇති මෙවැනි ක්‍රියාමාර්ග කෙරෙහි අපගේද අවධානය යොමුවීම යහපත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි හේතු වනු ඇත.









Monday, June 15, 2015

On 11:16 AM by Unknown   No comments
හිනාවෙයන්
ඔබට වලකපන්න හදපු මිනිස්සු උබ එක්ක උබ වෙනුවෙන් කතා කරනකොට,
හිනාවෙයන්
අවශ්‍ය වෙලාවේ ඔබ වෙනුවෙන් හිටිය නැති මිනිස්සු පස්සෙ උබට සහෝදරකම පෙන්නද්දි
හිනාවෙයන්
කොන්දක් නැති මිනිස්සු දේශපාලනේ කරනවා දැක්කම
හිනාවෙයන්
මුදල් වෙනුවෙන් බොරුව කරන මිනිස්සු ඔබට ජීවිතේ ගැන කියල දෙනකොට
හිනාවෙයන්
කෙනෙක්ගේ සොයාගැනීමක් තමන්ගේ වගේ කියනකොට
හිනාවෙයන්
තමන් හිස් බව තමන්ට නොතේරුණු මිනිස්සු අනුන්ට උගන්වනකොට
හිනාවෙයන්
සමාජවාදය කරපින්නාගත් ආචාර්යවරු ධනවාදය වෙනුවෙන් රුපවාහිනියේ පෙනී ඉද්දි
හිනාවෙයන්
උබට මේව නොතේරුණු විදිහට

On 6:59 AM by Unknown   No comments
On 6:43 AM by Unknown   No comments
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්‍රිත ප්‍රදේශය පෙන්වා දිය හැකිය. කොළඹ නගරයේ සිට ගාලු ප්‍රදේශයට කිලෝමීටර 81 ක පමණ දුරක් පැමිණීමේදී හමුවන කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මාදු ගග දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් යුත් අතිරමණිය ප්‍රදේශයකි. අද පමණක් නොව ඈත අතීතයේද සංදේශ කාව්‍ය කතුවරු මාදු ගග වර්ණනා කිරීමට අමතක නොකළෝය. තිසර, ගිරා, පරවී, කෝකිල සංදේශ කාව්‍යයන් ගායනා කිරීමේදී ඒ බැව් අපට මනාවට ප්‍රතිධ්වනිත වනු ඇත. එපමණක් නොව මාදු ගග වටා ගෙතුණු ඉතිහාස කතාවන්ද ජනප්‍රවාද ද රාශියකි. ලංකාවේ මාදු ගග ආශ්‍රිතව පමණක් දැකගත හැකි ශාක හා සත්ව විශේෂ පැවතීමත් ඒ හා තම ජීවිකාව ගත කරන සොදුරු මිනිසුන්ගේ ජිවන අරගලයත් මාදු ගගටම විශේෂිත වුවකි.

හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග පරිවාර දුපත් 64 කින් පමණ යුක්තය ඉන් දුපත් 17 ක් ස්ථිර දුපත් වශයෙන් හදුනාගෙන ඇත. මාදුගග ආශ්‍රිතව ජිවත්වන සත්ව විශේෂ පිලිබදව සලකා බැලීමේදී මාදු ගගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ ජිවත්වන 607 ක් පමණ වූ පක්ෂි විශේෂ අතරින් පක්ෂි විශේෂ 248 ක් ම තම වාසස්ථාන කරගෙන ඇත්තේ මාදු ගගයි. යුරෝපිය රටවල ශීතකාල වලදී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂි විශේෂ 111 කගේ නවාතැන්පල වන්නේ මේ ඇති රමණිය මාදුගගයි. ශ්‍රී ලංකාවේ ජිවත්වන මිරිදිය මත්ස්‍ය විශේෂ 78න් 70 ක්ම සොදුරු මාදු ගංගාවේ ජිවත් වෙයි. මේ අතර ඉස්සන් සහ කකුළුවන් විශේෂද රාශියකි. එමෙන්ම මේ දුපත් ආශ්‍රිතව ජිවත්වන සමනල විශේෂ 50 ක් පමණ හදුනාගෙන ඇති අතර ගොළුබෙල්ලන් විශේෂ 25 ක් දක්නට ලැබෙයි.

හෙක්ටයාර් 915 ක මුළු වපසරියක් ඇති මෙම භුමි භාගයේ ඇති ශාක විශේෂයන්ද ඉතාමත් විශේෂ ස්ථානයක් ගනියි. ඒ අතරින් කඩොලාන වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලංකාවේ මෙතෙක් වාර්තාවන කඩොලාන විශේෂ 24 න් 14ක් ම මාදු ගග ආශ්‍රිතව දක්නට ලැබීමත් ඉතාමත් දුර්ලභ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ( lumnitzera littoriya ශාකය සුලබ වශයෙන් දැකගන්නට ලැබීමද මෙහි ඇති විශේෂත්වයකි. එමන්ම ගංගා කලපු මෝය ආශ්‍රිත ලවන මිශ්‍ර පසෙහි ඉව්රෙහි පදුරු වශයෙන් වැවෙන තාල වර්ගයට අයත් එකම කඩොලාන විශේෂය වන ගිං පොල් ශාකයද මෙහි දක්නට ලැබෙයි.

මාදුගග ආශ්‍රිතව ගෙතුණු ජනප්‍රවාදද රැසකි. මාදු ගගෙහි එක දුපතක පිහිටි කොත්දුව රජමහා විහාරයේ විහාරාධිපති ඕමන්තේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේ පවසන පරිදි උතුම්වූ දන්ත ධාතුන් වහන්සේ දෙවතාවක් එම භූමියට වැඩම කරවා තිබෙයි. එක් වරකදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්ත ධාතුන් වහන්සේ ගෙන එන අවස්ථාවේදී ආරක්ෂාවට එම ස්ථානයේ දින තුනක් නැවතී ඇති බවයි අනෙක් අවස්ථාව වන්නේ කෝට්ටේ යුගයේ විදිය බණ්ඩාර අවදියෙදී එක් අවස්ථාවක දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවූ බවයි. අවස්ථා දෙකකදී ධාතුන් වහන්සේ වැඩම කරවූ එකම ස්ථානය මෙය බව උන්වහන්සේ තව දුරටත් ප්‍රකාශ කරන්න ලදී.

එමෙන්ම මෙම ගංගාව ආශ්‍රිතව ජිවත් වන කිබුලන්ගෙන් කිසි කලෙක හානියක් සිදු නොවූ බවයි. ඒ සදහාද ගෙතුණු ජනප්‍රවාදයකි එනම් මෙම විහාරස්ථානය පිහිටි භුමියේ ජිවත් වුනු උපාසක මහතෙකුගේ අක්කා කෙනෙකුගේ පුතෙකුව දිය නෑමේදී වරක් කිබුලෙකු ගොදුරු කරගෙන ඇත. ඉන් දුකට පත් එම උපාසක මහතා විසින් සබ්බ පාපස්ස අකරනං ගාථාවෙන් ලක්ෂ වාරයක් මතිරු ගල් මේ මුළු මාදු ගග වටාම ඔරුවකින් ගොස් ඉස ඇති බවයි. ඉන් අනතුරුව කිසිම දිනෙක කිබුලෙකු මිනිසෙකුට අනතුරක් කර ඇති බවක් දැනගන්නට වත් නොලැබුන බව උන වහන්සේ පැවසුවේය.අනුරාධපුර යුගයේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ ශාකාවක් මෙම විහාරස්ථානයේ විරාජමානව වැඩ වාසය කරයි.

මාදු ගග ආශ්‍රිතව ජිවත්වන සොදුරු මිනිසුන්ගේ සරල ගැමි දිවියද මාදු ගගටම අවේනික වුවකි. බොහෝ දෙනෙක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව තම ජීවිකාව ගත කරයි. තවත් බොහෝ දෙනෙක් කුරුදු නිෂ්පාදන වලින් තම ජීවිකාව ගෙවයි. අක්කර දෙකේ දුපතෙහි තම දරුවන් තිදෙනාත් සමග ජිවත්වන ඩබ්ලිව්.කරුණාවතී තම ජීවිකාව ගැන මෙසේ අදහස් දැක්විය

“ මහත්තය කුලී වැඩ තමයි කරන්නේ මේ දුපතේ අක්කර කාලක් විතර අපිට අයිති ඉතින් මම කුරුදු පොතු හදල තමයි කියක් හරි හොයාගන්නේ හැමදාමත් කරන්න බෑ. එක කාලෙකට තමයි. දවසකට කිලෝ දෙකක් විතර තමයි හදන්න පුළුවන් කිලෝ එකකට රුපියල් 3000 ක් විතර හම්බෙනවා. දවස තුනක් විතර මද පවනේ වෙලන්නත් ඕනේ ඉතින් මාසෙකට රුපියල් 5000 ක් විතර තමයි හොයන්න පුළුවන් දරුවෝ පාසැල් යන්නේ ඔරුවේ. ඉදල හිටලා ගග බලන්න ආව අය මෙහෙටත් ඇවිත් කුරුදු අරගෙන යනවා. පිටරටවල ඉදල එන සංචාරකයෝ කුරුදු කුඩු ගන්නවා.”

එමෙන්ම මේ ගංගාව ආශ්‍රිතව තම ජීවිකාව ගෙවන තවත් පිරිසකි බෝට්ටුවකින් ගංගාව වටා සංචාරයක් රැගෙන යන පිරිස. ඔවුන් අතරින් අවුරුදු 20 ක් වයසැති අශාන් ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්විය

“ මම අට වසරට විතර තමයි පාසල් ගියේ ආර්ථික ප්‍රශ්න නිසා පාසැල ගමන නැවතුනාට පස්සේ මේ රස්සාවට ආවේ. එක ගමනකට රුපියල් 400 ක් විතර ගන්නවා. හැමදාමත් කට්ටිය එන්නේ නෑ පෝය දවසට වගේ තමයි ඉතින් ටික දෙනෙක් එන්නේ ගොඩක් අය මේ ගංගාවේ තියෙන දේවල් ගැන දන්නේ නෑ වගෙයි. ගොඩක් අඩුවෙන් තම එන්නේ”

සොදුරු පාරිසරික පද්දතියකින් හෙබි මාදු ගංගාවේ පවතින සොදුරු බව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවීමේ අවදානමකට පත්ව තිබෙයි. ගංගාව නැරඹීමට පැමිණෙන සංචාරකයින් දමන කැලිකසල නිසාවෙන් ඉවුරු දුෂණය වෙමින් පවතියි. එමෙන්ම මෙම මෝටර් බෝට්ටුවල ශබ්දය සහ ඉවුරු අසල ජලය කැලතීම හේතුවෙන් සංචාරක පක්ෂීන් බියවීමත්, එම ස්ථාන අතහැර යාමත් සහ මිරිදිය මත්සයින්ගේ බිත්තර විනාශ වීමත් සිදුවේ. එමෙන්ම ජලයට එක්වෙන තෙල් සහ රසායනික ද්‍රවය හේතුවෙන් පාරිසරික ගැටළු රැසක මතුවී තිබෙයි. කටුපේද සහ වෙල් ආත්ත වැවීම හේතුවෙන් දිය තලය තවත් විනාශවෙයි.

කෙසේ නමුත් අප සිතා හෝ නොසිතා සිදුකරන දේවල් හේතුවෙන් විනාශවන සුන්දර මාදුගග ආරක්ෂා කර ගැනීමට වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව සුවිශාල කාර්යභාරයක් මේ වන විටත් ඉටුකරයි. මුහුදින් වටවුණු දිවයිනක් වන ශ්‍රී ලංකාව වටා පිහිටි වෙරල තිරය කිලෝමීටර 1520කින් යුතු වුවද සිදුවූ වෙරක ඛාදනය නිසාවෙන්ම මේ වන විට කිලෝමීටර 267ක්ම විනාශවී ගොසිනි තවත් කිලෝමීටර 650ක ප්‍රදේශයක් යාල, විල්පත්තු ආදී අභය භුමි වලට වෙන්ව ඇති බැවින් මිනිස් පරිභෝජනයට යොදාගත නොහැකි ප්‍රදේශයකි. බුන්දල ඉහල අරුගම්බේ පොතුවිල් දක්කවා ඇති කිලෝමීටර 280 ක පමණ වෙරල තිරය අධි සංවේදී ප්‍රදේශ වශයෙන් වෙනකොට ඇති අතර තවත් කිලෝමීටර 140ක් සංචාරක කටයුතු වෙනුවෙන් වෙන්ව ඇත. තවත් කිලෝමීටර 35ක් ධිවර කටයුතු වෙනුවෙන් වෙන්ව ඇත. වේගයෙන් විනාශවෙන වෙරල තිරයෙන් තවත් ඉතුරුව ඇත්තේ කොයිතරම් සුළු ප්‍රමාණයක්ද?

 මෙවන් සොදුරු පරිසරයක් මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප යුතුකමක් මෙන්ම වගකීමකි.

Saturday, June 13, 2015

On 9:21 AM by Unknown   1 comment
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද  සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක්   නොවෙයි.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ   නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ   කාර්යාලයට පැමිණිය හැක.

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිලිබදව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භුමිය ජාතික වන උද්‍යානයක් ලෙස  ප්‍රකාශයට පත්කර  තිබේ.

මෙම ජාතික උද්‍යානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13,362 ක ( අක්කර 33 )   භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.

මෙහි උද්‍යාන භාරකරු ඉන්දික ගල්පාත මහතායි. 

මිනිස් හා වෙනත්   උපද්‍රවයයන්ගෙන්  අවතැන් වුණු  සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි.

 හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.

වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබන උද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.

 උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ.


මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.

උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.

මිට අමතරව තෘණ විශේෂද රැසක්ද ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata), කදුලැස්ස (Dreseraindica),වටැස්ස (Droseraburmanni)ඇත.

මෙම උද්‍යානයේ වන සත්තු අතර හදුන් දිවියා (Felisviverrinas), කොළ දිවියා (Felisrubiginosaphillipsi), මීමින්නන් (Tragulusmeminna), නරියා (Canisaureuslanka) සහ දඬුලේනා (Ratufamacroura) වෙති.
 උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි  කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.

මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.

සර්ප විශේෂ අතර පිඹුරා (Python molurusmolurus), තිත් පොළගා (Daboiarusselii), ගැරඩියා (Ptyasmucocusmaximus), පොළොන් තෙලිස්සා (Hypnalehypnale), දෙපත් නයා (Cylindrphismaculatus), හෙල්මල් කරවලා (Chrysopeleaornata), ඇහැටුල්ලා (Ahaetullanasutus), මුදුකරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.

හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක. පරිසරයේ නිහැඩියාව ආරක්ෂා කරගන තරමට වන සතුන් හොදින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත.
එමෙන්ම ගෙන ආ කිසිවක් වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුලින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත් නොකිලිටිව දැකබලා ගැනීමට හැකිවනු ඇත. වනසතුන් තුරුලතාවන් නගන හඬට කන්දෙන්න ඉන් ඔබේ සිතට සහනයක් දැනෙනු ඇත. උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව නම් පිවිසුම් මග පටු වීමයි. එහි පළල අඩි තුන හමාරකන් පමණය.

එමෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම්ද අඩුය. බලධාරීන් ඒ ගැන සොයා බලා එම පහසුකම් සලසන්නේනම් අනෙක් වනෝද්‍යාන තරමටම මේ වනෝද්‍යානයද වටිනාකමින් වැඩි වනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.