Meet The Author

Saturday, June 13, 2015

On 9:21 AM by gayan madushanka   No comments
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද  සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක්   නොවෙයි.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ   නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ   කාර්යාලයට පැමිණිය හැක.

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිලිබදව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භුමිය ජාතික වන උද්‍යානයක් ලෙස  ප්‍රකාශයට පත්කර  තිබේ.

මෙම ජාතික උද්‍යානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13,362 ක ( අක්කර 33 )   භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.

මෙහි උද්‍යාන භාරකරු ඉන්දික ගල්පාත මහතායි. 

මිනිස් හා වෙනත්   උපද්‍රවයයන්ගෙන්  අවතැන් වුණු  සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි.

 හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.

වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබන උද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.

 උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ.


මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.

උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.

මිට අමතරව තෘණ විශේෂද රැසක්ද ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata), කදුලැස්ස (Dreseraindica),වටැස්ස (Droseraburmanni)ඇත.

මෙම උද්‍යානයේ වන සත්තු අතර හදුන් දිවියා (Felisviverrinas), කොළ දිවියා (Felisrubiginosaphillipsi), මීමින්නන් (Tragulusmeminna), නරියා (Canisaureuslanka) සහ දඬුලේනා (Ratufamacroura) වෙති.
 උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි  කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.

මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.

සර්ප විශේෂ අතර පිඹුරා (Python molurusmolurus), තිත් පොළගා (Daboiarusselii), ගැරඩියා (Ptyasmucocusmaximus), පොළොන් තෙලිස්සා (Hypnalehypnale), දෙපත් නයා (Cylindrphismaculatus), හෙල්මල් කරවලා (Chrysopeleaornata), ඇහැටුල්ලා (Ahaetullanasutus), මුදුකරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.

හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක. පරිසරයේ නිහැඩියාව ආරක්ෂා කරගන තරමට වන සතුන් හොදින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත.
එමෙන්ම ගෙන ආ කිසිවක් වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුලින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත් නොකිලිටිව දැකබලා ගැනීමට හැකිවනු ඇත. වනසතුන් තුරුලතාවන් නගන හඬට කන්දෙන්න ඉන් ඔබේ සිතට සහනයක් දැනෙනු ඇත. උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව නම් පිවිසුම් මග පටු වීමයි. එහි පළල අඩි තුන හමාරකන් පමණය.

එමෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම්ද අඩුය. බලධාරීන් ඒ ගැන සොයා බලා එම පහසුකම් සලසන්නේනම් අනෙක් වනෝද්‍යාන තරමටම මේ වනෝද්‍යානයද වටිනාකමින් වැඩි වනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

0 comments:

Post a Comment