Meet The Author

Wednesday, June 20, 2018

On 9:31 PM by Unknown   No comments

සංහිදියාව ඇතිකිරීමේ සහ වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද තුන්දෙනෙක් සිනමා කෘතිය නැරබීමට පෙර එම චිත්‍රපටයේ නම දැකීමෙන් මා සිතුයේ එක චිත්‍රපටයක් දෘෂ්ටිවාද තුනකින් හෝ එක් කතාවක් තේමා තුනකින් හෝ නරබන්නට තිබෙන බවය. චිත්‍රපටය එළිදක්වන උළෙලේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පවසා සිටියේ චිත්‍රපටයක් සදහා අධ්‍යක්ෂ වරු තුන්දෙනෙක් එකතු වී ක්‍රියාකිරීම ම අගයකළ යුතු බවයි. නමුදු එතුමිය ප්‍රකාශකළ සංහිදියාවක් චිත්‍රපටය තුළ දක්නට නොමැත. එවැනි සංහිදියාවක් අවශ්‍යද නැත. අධ්‍යක්ෂවරු තිදෙනෙක් නිර්මාණය කල චිත්‍රපට තුනක් එකදිගට නරබුවෙමි. තනි චිත්‍රපටයක් කිරීමට අධ්‍යක්ෂ වරු තිදෙනා අතර සංහිදියාව නොමැත. එය වරදක් නැත. එක තේමාවකට චිත්‍රපටයක් කිරීමට සංහිදියාව ඇත. එය ද වරදක් නැත. තනි චිත්‍රපටයක් අධ්‍යක්ෂවරු තිදෙනෙක් එකතුව සකස් කල බවට මගේ වූ පුර්ව නිගමනය මා හට වූ සිදුවූ වරදකි.

සමාජීය වශයෙන් වෙනසක් බලපෑමක් ඇතිකිරීම සදහා චිත්‍රපටයක දායකත්වය අතිමහත්. ප්‍රංශ, රුසියානු විප්ලව සහ සිනමාව එයට සාක්ෂි දරනු ඇත. චිත්‍රපටයක් නැරබීමෙන් ප්‍රේක්ෂක මනස තුළ සංහිදියා සංකල්පය ජනිත කිරීම හෝ වර්ධනය කිරීම මෙම චිත්‍රපට නිෂ්පාදනයන්හි මුඛ්‍ය අරමුණ විය. ලංකාවේ පවතින චිත්‍රපට නැරබීමේ සංස්කෘතිය සහ ඒවා ජිවිත වලට ග්‍රහණය කර ගැනීම යන කරුණු සලකා බැලීමේදී චිත්‍රපටයකින් සිදුකළ හැකි බලපෑම විවාද සම්පන්න විය හැක. නමුදු මෙම ප්‍රයත්නය අගය කල යුතුය. චිත්‍රපට දර්ශනයෙන් පසුව ඇතිවන කතිකාවත්, සංවාද වඩාත් බලපෑම් කාරී සහ චිත්‍රපට නිෂ්පාදන අරමුණු මුදුන්පත් කරන්නට දායක වන බව මගේ අදහසයි. සංහිදියාව පිළිබදව කතිකාවතකට මෙම චිත්‍රපටය හේතුවක් ලෙස ක්‍රියා කරනු ඇත. චිත්‍රපය ගැන කතා කිරීමට හෝ අධ්‍යක්ෂවරු විවේචනය කිරීම හෝ වැනි කුමන ආකාරයක හෝ හේතුවක් මත අප එකතුවී සංහිදියාව ගැන කතා කරනු ඇත.

චිත්‍රපටයක් හරහා ජනතා චින්තනය වෙනස් කිරීමට උත්සහ දැරීම බරපතල අභියෝගයකි. එහිදී පොදු ජනතාවට තේරෙන සහ පොදුජනතාවගේ චින්තන ධාරාව ස්පර්ශ කරන චිත්‍රපටයක නිෂ්පාදනය අවශ්‍ය වේ. චිත්‍රපටයේ සරල බව සහ කතා තේමාවේ ආකර්ශනීය බව ප්‍රධාන තැනක් ගනු ඇත. මගේ නිරීක්ෂණයන්ට අනුව ප්‍රසන්න විතානගේ එම අභියෝගය මෙහිදී ජයගත් අයෙකි. චිත්‍රපටය ගලායාම දර්ශන සකස්චි කිරීම යන සියල්ල පොදු ජනයාගේ සිත් ආකර්ෂණය කරන්නක් විය. චිත්‍රපටයක්  ලෙස මගේ දෘෂ්ටිකෝණයට අනුව බලන කල අශෝක හදාගමගේ චිත්‍රපටය ස්ටීරියෝ ටයිප් කතා තේමාවක්. ප්‍රසන්නගේ චිත්‍රපටය ඉන් මදක් බැහැර වන්නේ කේසේවරාජන්ගේ කතාව ගොනුකිරිම හරහාය. එම කතාව අපට අලුත්, හදාගමයන්ගේ කතාව අපට අලුත් නැත.  නමුත් එවැනි කතා තේමාවක් මෙම චිත්‍රපටයේ මුඛ්‍ය අරමුණු කරා ලගාවීමට අවශ්‍ය බව මට හැගෙයි. දිනපතා දකින අතුරුදන්වූවන්ගේ පුවරු රැගත් පුද්ගලයන් තුළ වූ ඇතුලාන්තයේ කතවට ඔහු ගෙන එයි. අප ඔවුන් දැක දුක්වනු විනා ඔවුන්ගේ කතාව අසන්නන් නොවේ. මේ කතාව අසන කල නැවත යුද්දයකට නොයා යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත. 

මේ චිත්‍රපට තුනේ මා ප්‍රියකළ කතාව විමුක්ති ජයසුන්දර ගේ නිර්මාණයයි. සහජීවනය ඇති නොමැති වීමට බලපෑ හේතුව විමුක්ති විග්‍රහ කරයි. ඔහුගේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාගෙන් මදක් ඈතට යනු ඇතැයි මගේ හැගීම. ඔහුගේ සිනමා ශෛලිය ඊට හේතුවක් විය හැක. නමුදු කතිකාවතකට යොමුකළ හැකි බවක් එහි මා දකියි.

විමුක්ති සිනමාවට නංවා ඇත්තේ සැබෑ ලෙසම සිදුවන තත්වයක්. එය අතීතයේත් වර්තමානයේත් සිදුවෙයි. අනාගතයේදීත් වෙනස් නොවනු ඇත. මා සිත් ගත් කරුණු කිහිපයක් පමණක් සටහන් කරමි. චිත්‍රපටයේ ආරම්භය ඔබටත්ශ්‍ මටත් තරමක් ඒකාකාරී බවක් ගෙන එන්නක් විය. සිංහල ගුරුවරයාගේ පාඩම. එය අපටද එපා විය. අපට එපා වූ එම දර්ශනය කොතරම් නම් දමිල ජනතාවකට එපා වන්නට ඇත්ද. සත්‍යජිත් රායි ගේ චාරුලතා ආරම්භක දර්ශනය බලන්න. විනාඩි ගණනාවක් සිදුකරන ගෙත්තම ප්‍රේක්ෂකයන් සිත තුළ ඇතිකළ පීඩනය චාරුලතා තුළ වූ සැබෑ පීඩනය ඔහු ගෙන ආවේය. විමුක්ති සිදුකර ඇත්තේ ද එයයි. 

ලංකාවේ අධ්‍යාපනය. එහි එක් ඒකකයක පරිපාලකයාගේ ක්‍රියාකලාපය. දුෂ්කර ගම්මානයක සේවය කිරීමට යන ඔහු අවසානයේ නතර වන්නේ ගුරුවරයෙකු ලෙස නොව ව්‍යාපාරිකයෙකු ලෙසයි. ඔහුගේ මුඛ්‍ය අරමුණ දරුවන්ට අධ්‍යාපනය නොව තවත් මාළු බෝට්ටුවක් මිලට ගෙන එය කුලියට දී ආදායම් ලැබීමයි. මේ කතාව කලාපීය වශයෙන් වෙනස් වෙමින් විවිධ මානයෙන් අදටත් සිදුවෙයි. නමුත් මේ පොදු කතාවෙන් වෙන්වුණු සත්‍ය ලෙසම තම සේවය ලබාදෙන පිරිස් ද ඇත. මේ චරිතය පොදු විදුහල්පතිවරු නියෝජනය කිරීමක් ලෙස දැකීම පිරිසකගේ සිත් තැවුලට පත් කිරීමක් විය හැක. මේ එක කුලකයක්. සෑම සමාජයකම මෙවැනි කුලකයක් නම් ගොත් වෙනස් වෙමින් දක්නට ඇත. අධ්‍යාපනයට කෙල වුන තැන තවත් සමාජීය තත්වයන් ගැන කවර ආකාරයක කතිකාවතක් ගොඩනගන්නද. එහි එක් ඒකකයක පරිපාලකයා මෙසේය. ඔහුගේ අරමුණු අභිලාෂයන් සහ මෙම පුනර් උත්පත්ති කතාවේදී ඔහුගේ දෘෂ්ටිය මනාවට විග්‍රහ වෙයි. 

ඔබ දුටුවාද චිත්‍රපටය පුරා ඇති දමිල සිංහල දරුවන් ඔවුනොවුන් සහ හොදින් මිශ්‍ර වෙමින් ජිවත් වෙයි. ඔවුන් මේ භාෂා දෙකම කතාකරයි. ඇතැම් විට දෙමව්පියන්ගෙන් පැවත ආ භාෂාවට වඩා වෙනත් භාෂාවක් ඔවුන්ට වඩාත් සමීපව ඇත. ඔවුන් තුළ සහජීවනයේ ප්‍රශ්නයක් නැත. සහජීවනය යන වචනයක්සැ ඔවුන්ගේ ශබ්දකෝෂයට අවශ්‍ය නැත. මේ ප්‍රශ්නය ඇත්තේ කා හටද? මේ ගැටලුව පිළිබදව මාධ්‍යවේදියාට ප්‍රකාශ කල විදුහපති වරයාට (පාලක පන්තිය) සහ එය පුවත්පතේ පලකළ මාධ්‍යවේදියාට (ජනමාධ්‍ය) මෙය ගැටලුවකි. ඔවුන්ට ඇතිවූ ගැටලුව එම ග්‍රාමයේ සංහිදියාව නැතිකිරීමට හේතුවක් විය. එකිනෙකා හා සතුටින් සිටි පරිසරය එළිවෙන පාන්දරින් වෙනසක් කිරීමට මේ ඒකක එකට හැකි විය. සංහිදියාව නැති වීමට බලපෑ හේතු අධ්‍යක්ෂ වරයා මනාවට විග්‍රහ කරයි. මේ කතාවේ සිදුවූ දේ ලංකා ඉතිහාසයේ සැබෑ ලෙසම සිදුවූ කතාවයි. 

සංහිදියාවේ ගැටළුවක් පොදු ජනතාව හට නොමැත මේ ගැටලුව ඇත්තේ පාලක පන්තියටත් ඔවුන්ගේ අතකොළුවක් වුනු ධනවාදයේ උපාංගයක් වුනු ජනමාධ්‍යයටයි. එකිනෙකාගේ ආරක්ෂාව උදෙසා ඔවුන් සන්නිවේදනයේ යෙදෙයි. මෙම සන්නිවේදනය පොදුජනතාව තුළ උග්‍ර වූ විෂබීජ වපුරාලයි. එහි අන්තපල පොදුජනතා ව වන අප අත්විදියි. පාලක පන්තිය සහ මාධ්‍ය සිදුකළ මෙම මිලේච්ඡ් එයිතිහාසික ක්‍රියාව එදා වෙන ස්වරූපයකින් සිදුවිය. එය වෙනස් කතාවකින් ගෙන ඒමට විමුක්ති සමත් විය. පුනරුප්පත්තිය සිදුකළ දරුවාගේත් දෙමව්පියන්ගෙත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කලේ පොදු ජනතාවයි. එය සිංහල දෙමල නොව පොදු ජනතාවයි. එයට නායකත්වය දීමට ජනමත නායකයන් විය (සිංහල ගුරුවරයා). ජනමාධ්‍ය එම ප්‍රගතිශීලි මිනිසුන්ව තාක්ෂණිකව හාස්‍යට ලක්කර සමාජයෙන් කොන්කරන්නට කටයුතු කරන ලදී. චිත්‍රපටය එය මනාවට ගෙන එයි. එසේ කොන් කිරීම ඔහුගේ කට වැසිමකි. ප්‍රගතිශීලි ජනතාවකගේ නායකයන්ගේ කට වැසීම මිලේච්ඡ පාලකයන්ගේ වුවමනාවන් අවශ්‍යතාවන් ආරක්ෂා කරන්නකි. මේ යුද්ධය හා වැසුණු ජාවාරම් කාර ක්‍රියාවලිය උදෙසා අවශ්‍ය පරිසරය ඇතිකරන ලද්දේ සංහිදියාව බිද දැමීමෙනි. එය ඡන්ද ව්‍යාපාරයට අවශ්‍ය සටන් පාඨ නිෂ්පාදනයේ සිට අවි ආයුධ වෙළදාම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා ව්‍යාපාරය දක්වා ව්‍යාප්තව ඇති බව දැක්විය යුතුය. සංහිදියාව අවශ්‍ය පොදු අපට, සංහිදියාව පිළිබද අවබෝදය අවශ්‍ය පාලක පන්තියට. පාලක පන්තියේ මුදලින් චිත්‍රපටයක් ඔවුන් උදෙසා නිෂ්පාදනය කර ඇත. මම එයට එකග වෙමි. මේ චිත්‍රපටය දර්ශනය කල යුත්තේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වූ චිත්‍රපට ශාලාවල් තුළදී ට වඩා ජනාධිපති මන්ධිරයේ සිට ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලත් මුදලින් කුලී ගෙවූ නිවස්න වල සිට ජනතා සේවයේ යෙදෙන ඒ බව නොදන්නා අමාත්‍යවරු හරහා ජාතිවාදී අදහස් රෝපණය කරන මිලේච්ඡයන් වෙතයි. ඔවුන්ගේ වෙනසක් චිත්‍රපටයක් ප්‍රදර්ශනයකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. එවන් හෘද සාක්ෂියක් ඇත්තවුන් එහි නැත. නමුත් ඔවුන් සිදුකළ දේ අප දන්නා බව පෙන්වමින් ඔත්තස් එකක් අපට අත්විදිය හැක.



එච්.ඒ.ගයාන් මධුශංඛ