Meet The Author

Thursday, July 2, 2015

On 9:02 AM by Unknown   5 comments

ගේය පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කරන ලද ගුණදාස කපුගේ ශුරින් ගායනා කරනු ලබන දවසක් පල නැති හේනේ ගීතයේ ඇතුළාන්තයට යන්නට මත්තෙන් මට සිහිපත් වන්නේ මහගම සේකරයන් රචනා කරන ලද පද්‍ය පන්තියක්. එහි කොටසක් මෙසේ සදහන් කරන්නම්. සිදාදියට එන්නට මට බුද්ධිය ඔබ තමයි එදා පාර කියා දුන්නේ, ගමෙන් උරුම වූ වස්තුව පොදියක් බැද කරතියාන උබේ බහට රැවටිලයි සිදාදියට අවේ, ඒ එනකොට ගෙන ආ දෙය වියපැහැදම් කළා මිසක මෙහිදී අලුතින් ඉපයූ කිසිම දෙයක් නැත්තේ, හිස බාරකළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ, සිදාදියෙන් ආපහු මගේ ගමට එන්න ආසයි මට එත් ගමට එන්නට දැන් පාර මතක නැත්තේ .... අම්මේ මට ගමට එන්න පාර කියාපාන්නේ ...... 


රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතාම ගැබුරු අරුතක් සහිතව මේ ගීය රචනා කර ඇත. මා සටහන් කරන අර්ථයට වඩා එහා ගීය අර්ථයකට නැවත නැවත ඒ ගීය ශ්‍රවනය කිරීමෙන් ඔබට ගමන් කල හැකිය.

දවසක් පැල නැති හේනේ
අකාල මහා වැහි වස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
සිටියා ඔබ අම්මේ ...

පැල නැති හේන යනු ආරක්ෂාවක් නැති කුටුම්භයයි. හේනට ආරක්ෂාව සලසන්න පැල සකසා තිබුන නමුදු මේ හේන ආරක්ෂා කිරීමට පැලක් නැත. මේ කතා නායකයාගේ පියා නොමැත. පියා නොමැති මේ පවුලට අකාලයේ වැටුණු වරුසාව හෙවත් නිතර පැමිණි කරදර වලින් ඔහුව අම්මා ආරක්ෂා කරගත්තේ අම්මා වැස්සට බිලි වෙමින්. සියලු කරදර අම්මා විදගනිමින් ඔහුව ආරක්ෂා කරගත්තා. අම්මා වැස්ස පායන තුරුම හිටිපියවරම සිටියා. ඔහු සවිමත් වන තුරුම අම්මා සියලු කරදර දුක්ක දෝමනස්සයන් විදගනිමින් ඔහුව ආරක්ෂා කරගත්තා.

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝද ඇලේ නැම්මේ .....
නුබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ....

ඔහු මුහුණදෙන දෙවෙනි වැස්ස මෙයයි. නුවරට යන තරුණයා එහි කාන්තාවක් සරණ පාවා ගනියි. නුවර ගතියට ඔහු හැඩගැසෙයි. ගම අමතක වෙයි. ඔහු නුවර සාමාජිකයෙකුද නොවේ දැන් ගමටද අමුත්තෙකි. ඔහුව ගමෙන් පිළිගන්නේ මහත්තයෙකු ලෙසිනි නගරය පිළිගන්නේ ගමේ බයියෙකු ලෙසිනි. මේ දෙකම අතර ඔහු අතරමං වී ඇත. පවුල් ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න හමුවේ ඔහුට මුහුණ දෙන්න වෙන නිනදා අපහාසයන් එමටයි.  නුවර වීදි යටකරගෙන යන්න තරම් නින්දාව නමැති විශාල වර්ෂාවක් ඇදහැලෙන වෙලාවේ ඔහුට සිටින බිරිදගේ සෙනෙහසද  නැතිව යයි එය සිදුවන්නේ යෝද ඇලේ ජලය බස්නා ආකාරයෙනි. එනම් යෝද ඇල නිර්මාණය කර ඇත්තේ සැතපුමකට අගලක බැස්මක් ඇතිවෙන ආකාරයෙනි. ඒ හේතුවෙන් යෝද ඇලේ ජලය ගලාගෙන යන අයුරු මතුපිටින් පැහැදිලිව නොපෙනෙයි. නමුත් ජලය නිසලව පෙනුනදා හෙමින් ගලාගෙන යයි. බිරිදගේ සෙනෙහස දිනෙන් දින අඩුවුණේ එසේමයි. නොදැනීම ඒ සෙනෙහස අඩුවිය. නමුත් එය දැනෙන වෙලාවක් එයි ඒ අවස්ථාවේ ඔහුට තිවන පීඩනය යෝද ඇලේ නම්මට සමානකර රචකයා පෙන්වා දෙයි. යෝද ඇලේ ජල බැස්ම ඒ ආකාරයෙන් වීම හේතුවෙන් යෝද ඇලේ ජල තලය ඝනත්වයෙන් වැඩි වේ. හෙමින් ගලා බසින හේතුවෙන් විශාල ජල ප්‍රමාණයකින් පීඩනයක් එල්ල කරයි. යෝද ඇලේ නම්මට ඒ පීඩනය ඉතා දැඩිව දැනෙයි. මේ දෙකම එකට සංකලනය කරමින් බිරිදගේ සෙනෙහස අහිමිවීමත් ඒ වියෝවත් ඔහු පෙන්වා දෙයි. ඒ වෙලාවේ අම්මේ නුබේ සෙනෙහස මට සුවද දිදී දැනුනු බව ඔහු කියයි. අම්මා ඔහුව කුඩා කාලයේ සෙනෙහසින් බලාගත්ත ආකාරය ඒ වියෝවේදී ඔහුට මතක වුනේ ඒ මවගේ සෙනෙහස වඩ වඩාත් දනෙමිනි.

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුලග හඩලන කොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මන් එනතුරු ඉදිකඩ ලග
ඉන්නවාද අම්මේ ....

ඔහු තවත් වැස්සකට තෙමෙන්නට ආසන්නයි. නගරයේ සිටින මේ පුද්ගලයාට එහි ඇති තරගකාරිත්වය සහ එහි ඇති බාධක වලට මුහුණ දීමට සිදුවෙයි. දැන් ඔහු තනිවී ඇත. ඔටුන්න යනු දැන් ඔහු සතුවන ධනය සහ බලයි. මේ සියල්ල ඉවතලා අම්මේ ඔබ වෙත මන් පමිනේන්නද යනුවෙන් ඔහු මවගෙන් අසයි. ඔහු පැමිණෙන බව පවසන්නේ එක පිම්මටයි. එතරම්ම ගමට යාමේ අවශ්‍යතාවය මවගේ සෙනෙහසේ ලැගුම් ගැනීමේ අවශ්‍යතාව ඔහු සතුවෙයි. මන් එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ යනුවෙන් ඔහු අවසන් වශයෙන් මවගෙන් ඉල්ලා සිටියි. ඒ පුතෙකුගේ අවසන් පැතුමයි. මවක් ඒ ආයාචනය සිදුකලත් නැතත් පුතු වෙනුවෙන් සැමදාම ඉදිකඩ ලග බලා සිටියි. නමුත් මේ  ගීය රචනා වන විට මා දන්නා පරිදි පදරචකයාගේ මව මියගොසිනි. ඉදිකඩ ලග ඔහු එනතුරු අම්මාර රැදී සිටීමට හැකියාවක් නොමැත. මව සිහිවන විට ඇය මියගොස් අවසන්ය.


5 comments:

  1. මරු කතාවක්....

    ReplyDelete
    Replies
    1. කතාම තමයි ඉතින්

      Delete
    2. කතාම තමයි ඉතින්

      Delete
  2. දුක හිතේන කතවක්

    ReplyDelete
  3. අම්මා ගැන ලියූ හොඳම සිංදුව

    ReplyDelete