Meet The Author

Monday, June 15, 2015

On 6:59 AM by Unknown   No comments
On 6:43 AM by Unknown   No comments
සංචාරක ආකර්ශනයත් ජෛව විවිධත්වවයෙනුත් අනුන සොදුරු වෙරළබඩ තිරයේ නිරිතදිග වෙරළේ දක්නට ලැබෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයක් වශයෙන් මාදු ගග ආශ්‍රිත ප්‍රදේශය පෙන්වා දිය හැකිය. කොළඹ නගරයේ සිට ගාලු ප්‍රදේශයට කිලෝමීටර 81 ක පමණ දුරක් පැමිණීමේදී හමුවන කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මාදු ගග දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් යුත් අතිරමණිය ප්‍රදේශයකි. අද පමණක් නොව ඈත අතීතයේද සංදේශ කාව්‍ය කතුවරු මාදු ගග වර්ණනා කිරීමට අමතක නොකළෝය. තිසර, ගිරා, පරවී, කෝකිල සංදේශ කාව්‍යයන් ගායනා කිරීමේදී ඒ බැව් අපට මනාවට ප්‍රතිධ්වනිත වනු ඇත. එපමණක් නොව මාදු ගග වටා ගෙතුණු ඉතිහාස කතාවන්ද ජනප්‍රවාද ද රාශියකි. ලංකාවේ මාදු ගග ආශ්‍රිතව පමණක් දැකගත හැකි ශාක හා සත්ව විශේෂ පැවතීමත් ඒ හා තම ජීවිකාව ගත කරන සොදුරු මිනිසුන්ගේ ජිවන අරගලයත් මාදු ගගටම විශේෂිත වුවකි.

හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග පරිවාර දුපත් 64 කින් පමණ යුක්තය ඉන් දුපත් 17 ක් ස්ථිර දුපත් වශයෙන් හදුනාගෙන ඇත. මාදුගග ආශ්‍රිතව ජිවත්වන සත්ව විශේෂ පිලිබදව සලකා බැලීමේදී මාදු ගගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ ජිවත්වන 607 ක් පමණ වූ පක්ෂි විශේෂ අතරින් පක්ෂි විශේෂ 248 ක් ම තම වාසස්ථාන කරගෙන ඇත්තේ මාදු ගගයි. යුරෝපිය රටවල ශීතකාල වලදී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂි විශේෂ 111 කගේ නවාතැන්පල වන්නේ මේ ඇති රමණිය මාදුගගයි. ශ්‍රී ලංකාවේ ජිවත්වන මිරිදිය මත්ස්‍ය විශේෂ 78න් 70 ක්ම සොදුරු මාදු ගංගාවේ ජිවත් වෙයි. මේ අතර ඉස්සන් සහ කකුළුවන් විශේෂද රාශියකි. එමෙන්ම මේ දුපත් ආශ්‍රිතව ජිවත්වන සමනල විශේෂ 50 ක් පමණ හදුනාගෙන ඇති අතර ගොළුබෙල්ලන් විශේෂ 25 ක් දක්නට ලැබෙයි.

හෙක්ටයාර් 915 ක මුළු වපසරියක් ඇති මෙම භුමි භාගයේ ඇති ශාක විශේෂයන්ද ඉතාමත් විශේෂ ස්ථානයක් ගනියි. ඒ අතරින් කඩොලාන වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලංකාවේ මෙතෙක් වාර්තාවන කඩොලාන විශේෂ 24 න් 14ක් ම මාදු ගග ආශ්‍රිතව දක්නට ලැබීමත් ඉතාමත් දුර්ලභ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ( lumnitzera littoriya ශාකය සුලබ වශයෙන් දැකගන්නට ලැබීමද මෙහි ඇති විශේෂත්වයකි. එමන්ම ගංගා කලපු මෝය ආශ්‍රිත ලවන මිශ්‍ර පසෙහි ඉව්රෙහි පදුරු වශයෙන් වැවෙන තාල වර්ගයට අයත් එකම කඩොලාන විශේෂය වන ගිං පොල් ශාකයද මෙහි දක්නට ලැබෙයි.

මාදුගග ආශ්‍රිතව ගෙතුණු ජනප්‍රවාදද රැසකි. මාදු ගගෙහි එක දුපතක පිහිටි කොත්දුව රජමහා විහාරයේ විහාරාධිපති ඕමන්තේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේ පවසන පරිදි උතුම්වූ දන්ත ධාතුන් වහන්සේ දෙවතාවක් එම භූමියට වැඩම කරවා තිබෙයි. එක් වරකදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්ත ධාතුන් වහන්සේ ගෙන එන අවස්ථාවේදී ආරක්ෂාවට එම ස්ථානයේ දින තුනක් නැවතී ඇති බවයි අනෙක් අවස්ථාව වන්නේ කෝට්ටේ යුගයේ විදිය බණ්ඩාර අවදියෙදී එක් අවස්ථාවක දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවූ බවයි. අවස්ථා දෙකකදී ධාතුන් වහන්සේ වැඩම කරවූ එකම ස්ථානය මෙය බව උන්වහන්සේ තව දුරටත් ප්‍රකාශ කරන්න ලදී.

එමෙන්ම මෙම ගංගාව ආශ්‍රිතව ජිවත් වන කිබුලන්ගෙන් කිසි කලෙක හානියක් සිදු නොවූ බවයි. ඒ සදහාද ගෙතුණු ජනප්‍රවාදයකි එනම් මෙම විහාරස්ථානය පිහිටි භුමියේ ජිවත් වුනු උපාසක මහතෙකුගේ අක්කා කෙනෙකුගේ පුතෙකුව දිය නෑමේදී වරක් කිබුලෙකු ගොදුරු කරගෙන ඇත. ඉන් දුකට පත් එම උපාසක මහතා විසින් සබ්බ පාපස්ස අකරනං ගාථාවෙන් ලක්ෂ වාරයක් මතිරු ගල් මේ මුළු මාදු ගග වටාම ඔරුවකින් ගොස් ඉස ඇති බවයි. ඉන් අනතුරුව කිසිම දිනෙක කිබුලෙකු මිනිසෙකුට අනතුරක් කර ඇති බවක් දැනගන්නට වත් නොලැබුන බව උන වහන්සේ පැවසුවේය.අනුරාධපුර යුගයේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ ශාකාවක් මෙම විහාරස්ථානයේ විරාජමානව වැඩ වාසය කරයි.

මාදු ගග ආශ්‍රිතව ජිවත්වන සොදුරු මිනිසුන්ගේ සරල ගැමි දිවියද මාදු ගගටම අවේනික වුවකි. බොහෝ දෙනෙක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව තම ජීවිකාව ගත කරයි. තවත් බොහෝ දෙනෙක් කුරුදු නිෂ්පාදන වලින් තම ජීවිකාව ගෙවයි. අක්කර දෙකේ දුපතෙහි තම දරුවන් තිදෙනාත් සමග ජිවත්වන ඩබ්ලිව්.කරුණාවතී තම ජීවිකාව ගැන මෙසේ අදහස් දැක්විය

“ මහත්තය කුලී වැඩ තමයි කරන්නේ මේ දුපතේ අක්කර කාලක් විතර අපිට අයිති ඉතින් මම කුරුදු පොතු හදල තමයි කියක් හරි හොයාගන්නේ හැමදාමත් කරන්න බෑ. එක කාලෙකට තමයි. දවසකට කිලෝ දෙකක් විතර තමයි හදන්න පුළුවන් කිලෝ එකකට රුපියල් 3000 ක් විතර හම්බෙනවා. දවස තුනක් විතර මද පවනේ වෙලන්නත් ඕනේ ඉතින් මාසෙකට රුපියල් 5000 ක් විතර තමයි හොයන්න පුළුවන් දරුවෝ පාසැල් යන්නේ ඔරුවේ. ඉදල හිටලා ගග බලන්න ආව අය මෙහෙටත් ඇවිත් කුරුදු අරගෙන යනවා. පිටරටවල ඉදල එන සංචාරකයෝ කුරුදු කුඩු ගන්නවා.”

එමෙන්ම මේ ගංගාව ආශ්‍රිතව තම ජීවිකාව ගෙවන තවත් පිරිසකි බෝට්ටුවකින් ගංගාව වටා සංචාරයක් රැගෙන යන පිරිස. ඔවුන් අතරින් අවුරුදු 20 ක් වයසැති අශාන් ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්විය

“ මම අට වසරට විතර තමයි පාසල් ගියේ ආර්ථික ප්‍රශ්න නිසා පාසැල ගමන නැවතුනාට පස්සේ මේ රස්සාවට ආවේ. එක ගමනකට රුපියල් 400 ක් විතර ගන්නවා. හැමදාමත් කට්ටිය එන්නේ නෑ පෝය දවසට වගේ තමයි ඉතින් ටික දෙනෙක් එන්නේ ගොඩක් අය මේ ගංගාවේ තියෙන දේවල් ගැන දන්නේ නෑ වගෙයි. ගොඩක් අඩුවෙන් තම එන්නේ”

සොදුරු පාරිසරික පද්දතියකින් හෙබි මාදු ගංගාවේ පවතින සොදුරු බව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවීමේ අවදානමකට පත්ව තිබෙයි. ගංගාව නැරඹීමට පැමිණෙන සංචාරකයින් දමන කැලිකසල නිසාවෙන් ඉවුරු දුෂණය වෙමින් පවතියි. එමෙන්ම මෙම මෝටර් බෝට්ටුවල ශබ්දය සහ ඉවුරු අසල ජලය කැලතීම හේතුවෙන් සංචාරක පක්ෂීන් බියවීමත්, එම ස්ථාන අතහැර යාමත් සහ මිරිදිය මත්සයින්ගේ බිත්තර විනාශ වීමත් සිදුවේ. එමෙන්ම ජලයට එක්වෙන තෙල් සහ රසායනික ද්‍රවය හේතුවෙන් පාරිසරික ගැටළු රැසක මතුවී තිබෙයි. කටුපේද සහ වෙල් ආත්ත වැවීම හේතුවෙන් දිය තලය තවත් විනාශවෙයි.

කෙසේ නමුත් අප සිතා හෝ නොසිතා සිදුකරන දේවල් හේතුවෙන් විනාශවන සුන්දර මාදුගග ආරක්ෂා කර ගැනීමට වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව සුවිශාල කාර්යභාරයක් මේ වන විටත් ඉටුකරයි. මුහුදින් වටවුණු දිවයිනක් වන ශ්‍රී ලංකාව වටා පිහිටි වෙරල තිරය කිලෝමීටර 1520කින් යුතු වුවද සිදුවූ වෙරක ඛාදනය නිසාවෙන්ම මේ වන විට කිලෝමීටර 267ක්ම විනාශවී ගොසිනි තවත් කිලෝමීටර 650ක ප්‍රදේශයක් යාල, විල්පත්තු ආදී අභය භුමි වලට වෙන්ව ඇති බැවින් මිනිස් පරිභෝජනයට යොදාගත නොහැකි ප්‍රදේශයකි. බුන්දල ඉහල අරුගම්බේ පොතුවිල් දක්කවා ඇති කිලෝමීටර 280 ක පමණ වෙරල තිරය අධි සංවේදී ප්‍රදේශ වශයෙන් වෙනකොට ඇති අතර තවත් කිලෝමීටර 140ක් සංචාරක කටයුතු වෙනුවෙන් වෙන්ව ඇත. තවත් කිලෝමීටර 35ක් ධිවර කටයුතු වෙනුවෙන් වෙන්ව ඇත. වේගයෙන් විනාශවෙන වෙරල තිරයෙන් තවත් ඉතුරුව ඇත්තේ කොයිතරම් සුළු ප්‍රමාණයක්ද?

 මෙවන් සොදුරු පරිසරයක් මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප යුතුකමක් මෙන්ම වගකීමකි.

Saturday, June 13, 2015

On 9:21 AM by Unknown   1 comment
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද  සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක්   නොවෙයි.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ   නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ   කාර්යාලයට පැමිණිය හැක.

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිලිබදව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භුමිය ජාතික වන උද්‍යානයක් ලෙස  ප්‍රකාශයට පත්කර  තිබේ.

මෙම ජාතික උද්‍යානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13,362 ක ( අක්කර 33 )   භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.

මෙහි උද්‍යාන භාරකරු ඉන්දික ගල්පාත මහතායි. 

මිනිස් හා වෙනත්   උපද්‍රවයයන්ගෙන්  අවතැන් වුණු  සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි.

 හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.

වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබන උද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.

 උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ.


මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.

උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.

මිට අමතරව තෘණ විශේෂද රැසක්ද ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata), කදුලැස්ස (Dreseraindica),වටැස්ස (Droseraburmanni)ඇත.

මෙම උද්‍යානයේ වන සත්තු අතර හදුන් දිවියා (Felisviverrinas), කොළ දිවියා (Felisrubiginosaphillipsi), මීමින්නන් (Tragulusmeminna), නරියා (Canisaureuslanka) සහ දඬුලේනා (Ratufamacroura) වෙති.
 උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි  කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.

මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.

සර්ප විශේෂ අතර පිඹුරා (Python molurusmolurus), තිත් පොළගා (Daboiarusselii), ගැරඩියා (Ptyasmucocusmaximus), පොළොන් තෙලිස්සා (Hypnalehypnale), දෙපත් නයා (Cylindrphismaculatus), හෙල්මල් කරවලා (Chrysopeleaornata), ඇහැටුල්ලා (Ahaetullanasutus), මුදුකරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.

හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක. පරිසරයේ නිහැඩියාව ආරක්ෂා කරගන තරමට වන සතුන් හොදින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත.
එමෙන්ම ගෙන ආ කිසිවක් වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුලින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත් නොකිලිටිව දැකබලා ගැනීමට හැකිවනු ඇත. වනසතුන් තුරුලතාවන් නගන හඬට කන්දෙන්න ඉන් ඔබේ සිතට සහනයක් දැනෙනු ඇත. උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව නම් පිවිසුම් මග පටු වීමයි. එහි පළල අඩි තුන හමාරකන් පමණය.

එමෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම්ද අඩුය. බලධාරීන් ඒ ගැන සොයා බලා එම පහසුකම් සලසන්නේනම් අනෙක් වනෝද්‍යාන තරමටම මේ වනෝද්‍යානයද වටිනාකමින් වැඩි වනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

Thursday, June 11, 2015

On 9:44 AM by Unknown   No comments
ඒක හරි අපුරු කෑම මේසයක්. මේ කාල සීමාව තුළ ඒ කෑම මේසය ගාවින් දහසක් දෙනා එහාට මෙහාට යන්න ඇති.
ඒ වුනත් එතන ඉද ගත්තේ  ටික දෙනයි. ඒකත් හරි අපුරුයි.
කනව.
කනව.
කනව..
කන තරමට ලැබෙනෙ රැදෙන්න වාසනාව.
කන තරමට ලැබෙනවා සිතේ වේදනාවේ අවාසනාව.
හැමෝම හිනාවෙවී කනව
ඒත් කෙනෙක් කන එක දිහා අනෙකා බලා ඉන්නේ හරි අමාරුවෙන්
කුහක කමෙන් පිරුණු කෑම මේසයක්
කෑමවල නෙමෙයි
කන අයගේ
ඒ තරගයේ යෙදෙන්න බැරි මිනිස්සුන්ට ඒ පුටුවෙන් නැගිටින්න වෙනව
හිනාවෙවී එකට කෑම කන එක තරම් සතුටක් තවත් තියෙනවද
ඒ සතුට එතන නැත්නම්
එහෙම කෑමක් මොකටද
තෘෂ්ණාවෙන් කුහක කමෙන් පිරුණු කෑම මේසයට
මිනිසත් කමේ සුවද එන්නේ කවදාද
මතක තියාගන්න
ඔතනින් ඇවිදපු දහසක් දෙනා
නොදන්නවා සේ හිටියාට
කෑම මේසයේ රග දන්නා බව

Tuesday, June 9, 2015

On 10:24 AM by Unknown   No comments
මුතු මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් එනවලු
කොහොමත් මුතුමැණික් තියෙන්නේ පොළව යට තමයි.
ගොමරිටි බයයි මුතු මැණික් උඩට එනවට
මොකද ඒවායේ නියම වටිනාකම ලෝකයා එදාට වටහාගන්න හින්ද
මුතු මැණික් වලට උඩට එන්න ඕන කමකුත් නෑ
කාලයක් ගිහාම මෙහෙම වැඩක් වෙනව
මිනිස්සු ගොමරිටිවල තත්වේ වටහා ගන්නවා
එදාට ගොමරිටි නොසලකා හරිනවා විතරක් නෙමෙයි
මුතු මැණික් හොයන්න පටන් ගන්නවා
කොයිතරම් පරණ වුනත්
මුතු මැණික් වල වටිනාකම අඩුවෙන්නේ නෑ...
ඒ නිසාම
මුතු මැණික් වලට තරගයක් නැහැ
ඔවුන් සැගවිලා සිටිනවා
ගොමරිටි
හැකි උපරිමෙන්
තම බලය රැකගැනීමට වෙහෙසෙනවා
මේක දකින මුතු මැණික්
හැමදාමත් හිනාවෙනව
මිනිස්සු ගොමරිටි ප්‍රතික්ෂේප කරන දවසට
හැමෝටම වඩා ගොමරිටි පසුතැවෙනවා ....
එහෙම දවසක් එනවා...
මිනිසත්කම ඔබව මුතුමැණික් කරනවා....

Friday, May 29, 2015

On 12:04 PM by Unknown   No comments

උපැස් යුවලක් අවශ්‍යයි.


ඈ  
මා අසලම සිටින විට 
මම 
මගේ දෑසින් ඈ දෙස බැලුවෙමි
සිතින් බොහෝ දෑ සිතුවෙමි 
බොහෝ දෑ කළෙමි 
ඈ 
මා අසල නොමැති විට 
මම 
සිතින් ඈ දෙස බැලුවෙමි 
අගේ රුව මැකේයැයි බියෙන්
මගේ සිත ඇගෙන් ඉවතට නොයයි
බොහෝ දෑ සිතීමට
සිත අවනත නැත 

බොහෝ දෑ කිරීමට
සිත එක්තැන් නැත

බොහොම වෙහෙසයි
එහෙත්   
මගේ සිත 
පැරණි මතකයේ සුව විදිමින් 
තවමත් සිනාසෙයි   
බොහෝ කලකින්
අගේ රුව නොදුටු 
මගේ දෑස 
දැන් 
දුර්වලය 
සිතේ රුව මැකේ යැයි බියෙන් 
වෙනත් දෙයක් දෙස බැලීමට 
මගේ සිත
දෑසට ඉඩ නොදෙයි  
අගේ රුව මතුකර ගැනීමට  
උපැස් යුවලක් අවශ්‍යයි 

Saturday, May 23, 2015

On 2:57 AM by Unknown   No comments